(සනත් ගමගේ)
රජයේ පාලන මිළට වැඩියෙන් හාල් විකිණූ අම්බලන්තොට නගරයේ වෙළඳුන්ට පාරිභෝගික සේවා අධිකාරිය මගින් නඩු පැවැරීමට කටයුතු කලේය.
සුදු කැකුළු හා රතු කැකුළු හාල් කිලෝවක් රුපියල් 220 බැගින් පාරිභෝගිකයින්ට අළවි කරන ලෙසට රජය මගින් පාලන මිළක් නියම කර ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක හාල් කිලෝවක් රුපියල් 260 ක් හා 240 බැගින් අම්බලන්තොට නගරයේ වෙළඳසැල් වල අළවි කරන බවට හම්බන්තොට පාරිභෝගික සේවා අධිකාරියට ලැබුනු පැමිණිලි මත මෙම වැටලිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරියේ ස්ථානභාර නිළධාරී ලක්ෂමන් රත්නායක මහතා කීය.
ඒ අනුව උපාය දූතයෙකු යොදවා අම්බලන්තොට නගරයේ හාල් අළවි කරන වෙළඳසැල් කිහිපයකින් හාල් මිලදී ගැනීම සිදුකර ඇති අතර සුදු කැකුළු හාල් කිලෝව රුපියල් 260 ක් හා 240 බැගින් පාරිභෝගික සේවා අධිකාරියේ උපාය ධූතයාට වෙළඳ සැල් හිමියන් අලවි කර ඇත.
ඒ අනුව අම්බලන්තොට නගරයේ ප්‍රධාන හාල් අළවි කරන වෙළඳසැල් දෙකකට රජයේ පාලන මිලට වැඩියෙන් පාරිභෝගිකයින්ට හාල් විකිණිමේ වරදට නඩු පැවැරීමට කටයුතු කල ලක්ෂමන් රත්නායක මහතා කීය.
නගරයේ තවත් වෙළඳ සැල් කිහිපයක් පරීක්ෂාවට ලක් කර අතර එම වෙළඳසැල්වල රතු කැකුළු හාල් කිලෝව රුපියල් 220 වන රජයේ පාලන මිලටම අලවි කිරිම සිදුකර තිබූ අතර බොහෝ වෙළඳසැල්වල හාල් මිල ප්‍රදර්ශනය නොකිරිම සිදුකර තිබූ හෙයින් එම වෙළඳුන්ට දැඩි ලෙස පළමු වරට අවවාද කිරීම සිදුවිය.
මෙහිදි හාල් වෙළඳුන් කියා සිටියේ තොගවශයෙන් මෝල් හිමියන් හාල් ලබාදෙන මිල අනුව රජයේ පාලන මිලට අලවි කිරිමට නොහැකි බවයි.