වැඩවර්ජනයක් ආවොත් ටග් යාත්‍රා සීරුවෙන්


(අංජුල මහික වීරරත්න)

නැවත වැඩ වර්ජනයක් ඇති වුවහොත් වරාය අධිකාරියේ ටග් යාත්‍රා සහ කුඩා යාත්‍රා සේවය බිඳ වැටීමට ඉඩ නොතබන බව ටග් යාත්‍රා හා කුඩා යාත්‍රා නියමුවන් (Pilot) ගේ සංගමය රජයට පොරොන්දු වී තිබේ.

එම සංගමය රජයට පොරොන්දුවී ඇත්තේ වරාය අධිකාරියේ නියමුවරුන්ගේ සංගමය හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ඉකුත් සතියේ මුණ ගැසුනු අවස්ථාවේදීය.

ඊට නාවුක හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ද සහභාගී වී සිටියේය.

කොළඹ වරාය ඇතුළු මෙරට වරායන් වෙත පැමිණෙන විශාල නෞකා වරාය ජැටි වෙත රැගෙන එනු ලබන්නේ මෙම ටග් යාත්‍රා මගිනි. එසේම පිටත වරායේ නවතා පහසුකම් ලබා ගන්නා නෞකාවල කපිතාන්වරු සහ කාර්ය මණ්ඩලය ගෙන එනු ලබන්නේ ද කුඩා යාත්‍රා මගිනි.

එම යාත්‍රා පදවනු ලබන්නන් නියමුවරුන් ලෙස හදුන්වන අතර ඔවුන් ගේ සංගමයේ නිලධාරීන් මෙලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී මුණ ගැසී තිබුණි.

ඉකුත් 15 දා පැවැති වැඩ වර්ජනයට මෙම සංගමය ද එක්ව සිටි අතර ඔවුන් වෙනුවට නාවුක හමුදාවේ යාත්‍රා යොදවා නෞකා වෙත අවශ්‍ය පහසුකම් හා සේවා ලබාදීමට රජය කටයුතු කටයුතු කළේය. පසුව මේ පිරිස නැවත සේවයට වාර්තා කිරීමෙන් පසු සාගල රත්නායක මහතා මුණ ගැසුණේය.

මුලින්ම ඔවුන් වැඩවර්ජනය නිසා ඇතිවූ අපහසුතාවය වෙනුවෙන් රජයට කණගාටුව පළ කර ඇති අතර පසුව ඔවුන් තමන්ගේ රාජකාරි ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කොට ඇත. මූල්‍ය ගැටලුවලට මෙි මොහොතේ විසදුම් ලබාදිය නොහැකි බව දන්වා ඇති සාගල රත්නායක මහතා යළි යළිත් මේ සේවය බිඳ වැටෙන්නේ නම් විකල්ප ක්‍රියාමාර්ග වෙත යාමට රජයට සිදුවන බව දැනුම් දී ඇත.

එහිදී නියමු සංගමය කියා ඇත්තේ යලිත් එවැනි බිද වැටීමක් සිදු නොවනු ඇති බවය.