(සුජිත් හේවාජුලිගේ)
එකතු කළ අගය මත බද්ද (වැට්) සියයට 15 සිට 18 දක්වා වැඩි කිරීමට ප්‍රතිපාදන ඇතුළත් එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ලබන 9 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයාගේ නියමය පරිදි ඊයේ (14) නිකුත් කරනු ලැබීය.
පනත පසුව සම්මත කෙරුණද ගැසට් නිවේදනයේ සඳහන් වන අන්දමට එම වැට් බදු වැඩි කිරීම ලබන මස 1 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට බලය ලැබෙනු ඇත.
එම ගැසට් නිවේදනයේ දැක්වෙන අන්දමට එකතු කළ අගය මත බද්ද සඳහා ලියාපදිංචිවීම සඳහා වන සීමාව ජනවාරි මස 1 වැනිදා සිට රුපියල් කෝටි 8 සිට කෝටි 6 දක්වා අඩු කෙරෙනු ඇත.
වැට් බදු නිදහස් කෙරුණු භාණ්ඩ 137කින් අනූ හතක එම නිදහස ඉවත් කිරීමට අදාළ එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී පසුගිය (11) වැනිදා සම්මත විය.

