වැටලීමට ගිය පොලිස් නිලධාරියාට වෙඩි


(නිශාන්ත කුමාර )

මීගහකිවුල අග්ගලාඋල්පත ගම්මානයට ඉහළීන් පිහිටි  කැලෑවේ  ඇති නීතිවිරෝධී කසිප්පු තිත්පලක් වැටලීම සඳහා අද (26) දහවල් එහි ගිය කන්දකැටිය පොලීසියේ නිලධාරි පිරිසක් අතර සිටි එක් නිලධාරියෙකු වන සතෙකුට අටවන ලද තුවක්කුවක් පත්තුවී බරපතල තුවාල ලබා මීගහකිවුල රෝහලටත් අනතුරුව බදුල්ල ශික්ෂණ රෝහලටත් මාරුකර යැවූ බව පොලිසිය පවසයි.

සිද්ධීයෙන් තුවාල ලබා ඇත්තේ කන්දකැටිය පොලිසියට අනුයුක්තව සේවයේ නියුතු තිස්හය හැවිරිදි ‍පොලිස් කොස්තාපල්වරයෙකි.

මීගහකිවුල අග්ගලාඋල්පත ගම්මානයට ඉහළීන් පිහිටි කැලෑවේ නීතිවිරෝධී කසිප්පු තිත්පලක් පවත්වාගෙන යන බවට පොලීසිය වෙත ලද තොරතුරක් මත අද 26 දහවල් කන්දකැටිය පොලීසියේ නිලධාරීහු කණ්ඩායමක් අග්ගලාඋල්පත සෝදිසි මෙහෙයුමක් දියත්කරමින් සිටිය දී මෙම අනතුර සිදුව ඇත.

වැටලීම සඳහා එහි ගිය නිලධාරී පිරිසට කැලෑව තුලින් වෙඩි හඩක් ඇසීමත් සමගම දුරකතන ඇමැතුමක් දී පරීක්ෂා කරද්දී පොලිස් නිලධාරියාට වෙඩි වැදී ඇති බව දැනගෙන ඇත. වෙඩි වැදීමෙන් පොලිස් නිලධාරියාගේ උදර හා කොන්ද ප්‍රදේශයට බරපතල තුවාල සිදුව ඇත.