වායුසමීකරණයේ දෝෂයකින් ගම්පහ රෝහලේ ශල්‍යකර්ම නවතී


(තිලකරත්න දිසානායක) 

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ ශල්‍යාගාරයක වායු සමීකරණ ජල කාන්දුවකින් සියලුම අක්ෂි ශල්‍ය සහ අස්ථි සම්බන්ධ ශල්‍යකර්ම කටයුතු මුළුමනින්ම නවතා දැමීමට සිදුවී තිබේ.

රෝහලේ හත්වන මහලේ ස්ථාපිත " සී " ශල්‍යාගාරයේ ශල්‍යකර්ම සිදුකරනු ලබන ඇද මතට "ප්‍රධාන ශල්‍යාගාර ලාම්පුව සහ විදුලි පේනු පුවරුව" ඔස්සේ ජලය කාන්දුවීමෙන් ශල්‍යකර්ම සිදුකිරීම අනතුරුදායක තත්ත්වයක් ඇතිව ඇත.

ඒ හේතුවෙන් ශල්‍යකර්ම නවතා ඇති අතර හදිසි අක්ෂි සහ අස්ථි ශල්‍යකර්ම සඳහා රාගම සහ කොළඹ ජාතික රෝහල වෙත රෝගීන් මාරුකර යැවීමට සිදුව ඇති බව අක්ෂි හා අස්ථි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරු පෙන්වාදෙති.

අක්ෂි ශල්‍ය කටයුතු නතරවීම මත ඇසේ සුද ඉවත්කර කාච දැමීම ඇතුළු අක්ෂි ශල්‍ය පොරොත්තු ලේඛනයේ  රෝගී සංඛ්‍යාව මේ වනවිට 1800 පමණ දක්වා ඉහළ ගොස් ඇති බව දැනගන්නට ලැබුණු අතර අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය ජේ.ඩී.ඩයස් මහතා පවසා සිටියේය.

ප්‍රධාන ශල්‍යාගාර ඇද මතට ජලය කාන්දුවීමක් සිදුවන තත්ත්වයක් මත ශල්‍යකර්ම සිදු කිරීම ඉතා අනතුරුදායක බැවින් කඩිනමින් ජල කාන්දුවට විසඳුමක් ලබා දිය යුතුව ඇති  බවයි.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ මහතාගෙන් විමසීමේදී මෙසේ කීය.

‘රෝහල් ගොඩනැගිල්ලේ මධ්‍යම වායූ සමීකරණ පද්ධතියෙන් ජල කාන්දුවීමක් සිදුවන බැවින් මෙම පද්ධතිය අලුතින් යෙදීමට බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත වාර්තා කර ඇති බවත් මේ සඳහා ප්‍රසම්පාදන කටයුතු සිදු වෙමින් පවතින බවත්ය.’ 

මේ අතර රෝහලේ වෛද්‍යවරයකු තම නම සඳහන් නොකරන ලෙස ඉල්ලා සිටිමින් සදහන් කර සිටියේ, ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ අට මහල් ගොඩනැගිල්ලේ ද වසර 20 ක පමණ කාලයක සිට ජල කාන්දුවක් පවතින බවත් මෙම රෝහලේ පවතින අඩුපාඩු සපුරාලීමට බස්නාහිර පළාත් සභාවට නොහැකි බැවින් රෝහල, මධ්‍යම රජයට පවරා ගැනීමේ අවශ්‍යතාවය පෙන්වා දුන්න ද සෞඛ්‍ය බලධාරීන් සහ දේශපාලනඥයින්ගේ නිසි අවධානයක් මෙතෙක් යොමුව නැති බවත් කනගාටුවෙන් වුවද  ප්‍රකාශ කිරීමට සිදුව ඇති බවයි.