ව්‍යාපාරිකයාගේ නිවෙසින් කොටි දෙකක බඩු උස්සලා


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

වාද්දුව සංචාරක හෝටලයක හිමිකාර කෝටිපති ව්‍යාපාරිකයකුගේ පන්නිපිටිය පොල්වත්ත වසා තිබූ නිවසකට ඇතුළු වු කිසියම් කණ්ඩායමක් එහි කාමරයක තිබූ රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනා රන් භාණ්ඩ සහ විදේශීය මත්පැන් බෝතල් තොගයක් සොරාගෙන ගොස් ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි මහරගම පොලිසිය කියයි.

රැගෙන ගිය දේපල අතර විවිධ බරින් යුත් රන් මාල, වළලු,අත් පළඳනා ,පංචායුධ වටිනා අත් ඔරලෝසුවක් වන බවත් සොරාගත් රන් භාණ්ඩවල බර පවුම් එකසිය 102 ක බරින් යුත් ප්‍රමාණයක් බවත් , විදේශීය මත්පැන් බෝතල් 40 ක් ඇමරිකන් ඩොලර් 300 ක් හා වටිනා අත්ඔරලෝසුවක්ද සොරා ගෙන තිබූ භාණ්ඩ වන බව ව්‍යාපාරිකයා කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.

ව්‍යාපාරිකයා නුගේගොඩ තලපත්පිටිය ප්‍රදේශයේ නිවසේ පදිංචිව සිටින අතර පන්නිපිටිය නිවස මාස දෙකක පමණ කාලයක සිට වසා දමා තිබී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙම නිවසේ හා ප්‍රධාන ගේට්ටුවේ යතුරු ව්‍යාපාරිකයා සන්තකයේ මෙන්ම අමතර යතුරු දෙකක් සේවකයකු අත තිබෙන බවත් එම සේවකයා ඉකුත් 13 වෙනි දින සිට 16 වැනි දින දක්වා එම නිවසේ රැඳී සිට වත්තපිටිය ශුද්ධ කර ඇති බවද පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත කිසිවකු නොමැති වසා දමා තිබෙන නිවසේ මෙපමණ රන් භාණ්ඩ තොගයක් සහ විදේශීය මත්පැන් බෝතල් තොගයක් තිබුණ බවට ව්‍යාපාරිකයා කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් සැකයක් පවතින බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය