වසන්ත මුදලිගේ-ජිනරතන හිමි අධිකරණයට ඉදිරිපත් කරන්න නියෝග


(නිමන්ති රණසිංහ )

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ රත්කරව්වේ ජිනරතන හිමි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (21)වරෙන්තු නිකුත් කළේය.

කොටුව ප්‍රදේශයේ පැවැති උද්ඝෝෂණයකදී අයුතු ජන රාශිය සාමාජිකයන් වෙමින් මහජන පීඩා ඇතිවෙන අයුරින් කටයුතු කළැයි කොටුව පොලිසිය මෙම සැකකරුවන්ට එරෙහිව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණේ ඉකුත් 2021 වසරේදීය.

මෙම සිද්ධියට අදාළව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ රත්කරව්වේ ජිනරතන හිමියන් ඇතුළු සිව්දෙනෙකු කොටුව පොලීසියෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

එම නඩුව අද 21 අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් දෙදෙනකු වෙනුවෙන් නීතිඥ නියෝජනයක් සිදු වූ අතර, සැකකාර වසන්ත මුදලිගේ සහ රත්කරව්වේ ජිනරතන හිමියන් වෙනුවෙන් නීතිඥ නියෝජනයක් හෝ ඔවුන් දෙදෙනා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කිරීමට අධිකරණය එලෙස තීරණය කළේය.