වසන්ත කරන්නාගොඩට එරෙහි නඩුව ජූලි 2 කැඳවයි


(මනෝප්‍රිය ගුණසේකර)

කොළඹ කොටහේන හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු නාවික හමුදා නිලධාරීන් 14 දෙනෙකුට එරෙහි නඩුව ලබන ජුලි 02 වැනිදා කැඳවීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල අද (19) නියම කළේය.

මෙම නඩුවේ විත්තිකාර හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා විසින් ඔහු විත්තිකරුවකු ලෙස නම් කිරීමට එරෙහිව ගොනු කර ඇති අභියාචනය විභාග කර තීන්දුවක් ලබාදෙනතුරු නඩු විභාගය කල් තබන්නැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිට ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ වසන්ත පෙරේරා මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එලෙස නියම කළේය. මහාධිකරණ විනිසුරුවරුන් වන චම්පා ජානකී රාජරත්න (සභාපති) අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එලෙස නියම කරන ලදී.

කප්පම් ලබාගැනීම සඳහා කොළඹ හා තදාසන්න ප්‍රදේශ වල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇතු`ථ නාවික හමුදා නිලධාරීන් 14 දෙනෙකුට එරෙහි නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා විසින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් පත් කරන ලදී.

මෙම සිද්ධිය හේතූවෙන් දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යයන්තර වශයෙන් ඇති වු ආන්දොළනාත්මක තත්වය පදනම් කරගනිමින් අධිකරණ සංවිධාන පනතේ 12 (2) වගන්තිය යටතේ සහ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 450 (4) වගන්තිය යටතේ නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා කළ ඉල්ලීමකට අනුව අගවිනිසුරුවරයා විසින් මෙම නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලදී.

වර්ෂ 2008 අගෝස්තු 08 වැනිදාත් 2009 සැප්තැම්බර් මස 21 වැනිදාත් අතර කාලය තුළදී කොටහේන, වැල්ලවත්ත, ත්‍රීකුණාමලය, මඩකලපුව ඇතුලු ස්ථාන කිහිපයකදී කස්තුරු ආරච්චිගේ ජෝ රීට්, රජීව් නාගනාදන්, ප්‍රදීප් විශ්වනාදන්, තිලගේෂ්වරන් රාමලිංගම්, මොහොමඩ් සාජිත්, ජමාල්ඩීන් ඩිලාන්, අමනන් ලියෝන්, රොෂාන් ලියෝන්, ඇන්තනි කස්තුරුආරච්චි, ත්‍යාගරාජා ජෙගන් සහ මොහොමඩ් අලි අන්වර් නමැත්තන් 11 දෙනෙකු මරා දැමීමට කුමන්ත්‍රණය කිරීම, ඒ අනුව ඔවුන් පැහැරගෙන යෑම, අයුතු ලෙස සිරකර තැබීම, ඔවුන්ගේ දේපළ බලහත්කාරයෙන් ලබා ගැනීම, මෙම තරුණයින් අතුරුදන් කිරීමට අදාළ සාක්කි වසන් කිරීම ඇතු`ථ චෝදනා 667ක් සම්බන්ධයෙන් නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇත.

මෙලෙස චෝදනා ලැබ සිටින්නේ නිලන්ත සම්පත් මුණසිංහ, සුමිත් රණසිංහ, සංජිත් නිලංග සේනාරත්න, නලීන් ප්‍රසන්න වික්‍රමසුරිය, ඇන්ටන් ප්‍රනාන්දු, හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩී. කේ. පී. දසනා, රාජපක්‍ෂ පතිරැහැන්ලාගේ කිත්සිරි, අරුණ තුෂාර මෙන්ඩිස්, කේ. ගාමිණි, චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි, උපුල් චමින්ද, නන්දප්‍රිය හෙට්ටි, සම්පත් ජානක කුමාර සහ හිටපු නාවික හමුදාපති වසන්ත කුමාර ජයදේව කරන්නාගොඩ මහත්වරුන්ය.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී නඩුවේ 14 වැනි විත්තිකාර හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා හැර සෙසු විත්තිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිට ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ වසන්ත පෙරේරා මහතා අධිකරණය අමතමින් මෙම නඩුවේ 14 වැනි විත්තිකාර හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා විසින් ඔහු විත්තිකරුවකු ලෙස නම් කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇතැයි පැවසීය. එම අභියාචනය තීන්දු කිරීමට නියමිතව ඇතැයිද එම අභියාචනයේ අවසන් තීන්දුව ලැබෙනතුරු නඩු විභාගය කල් තබන්නැයි ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ වසන්ත පෙරේරා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම ඉල්ලීම පිලිගනිමින් විනිසුරු මඩුල්ල මෙම නඩුව ලබන ජුලි 02 වැනිදා යළි කැඳවීමට නියම කළේය.