(බිඟුන් මේනක ගමගේ)
කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට බදුදීමට කැබිනට්ටුවේදී එරෙහිවීම සම්බන්ධයෙන් සිය කෘතඥතාව ජනාධිපතිවරයාට පළ කරන බවත් වරාය දේපල රහසිගතව පෞද්ගලික අංශය වෙත පැවරීමේ ක‍්‍රියාවලිය සිදු කරන්නේ නම් ඉදිරියේදී දැඩි වෘත්තීය ක‍්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවත් සඳහන් කරමින් සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය වරාය හා නාවික කටයුතු ඇමැති මහින්ද සමරසිංහ මහතාට ලිපියක් යොමු කර ඇත.
හම්බන්තොට වරාය බදු දීමට එරෙහිව සිය වෘත්තීය සමිතිය අඛණ්ඩව ඊට ක‍්‍රියාමාර්ග ගැනීමේදී ඇමැතිවරයා විසින් ප‍්‍රකාශ කරනු ලැබුවේ කොළඹ වරාය රැක ගැනීමට නම් හම්බන්තොට වරාය බදුදිය යුතු බවත් එමගින් මේ වන විට රටට බරපතල හානියක් සිදුවී ඇති බව තහවුරු වී ඇති බවත් එම සංගමය පවසයි.
කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය විදේශීය සමාගම් වෙත බදුදීමක් සිදු වුවහොත් ජාතික ආර්ථික දේහයට විශාල හානියක් සිදුවනු ඇති බවත් වරාය තුල පවත්නා සියළු අංශයන් පවත්වා ගැනීමට නොහැකි වනු ඇති බවත් එම ලිපියේ සඳහන්වේ.
කොළඹ වරායේ පිහිටි බණ්ඩාරණායක තටාකයද මගී පර්යන්තයක් ලෙස ගොඩනැගීම සඳහා පෞද්ගලික අංශය වෙත භාරදීම සඳහා යෝජනා වී ඇති බවට හෙලිදරව් වී ඇති බවත් මේ අයුරින් පැහැදිලි වන්නේ වරාය සංවර්ධනය කිරීම සඳහා කිසිදු සැලැස්මක් නොමැතිවීම බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන්වේ.