වරාය නගරයේ වෙනත් නීතියක් රජ කරාවි - සමඟි ජනබලවේගය


(යොහාන් භාසුර)

කෙටුම්පත් කර ඇති කොළඹ වරාය නගර පනත සම්මත වුවහොත් ශ්‍රී ලංකාව තුළ සාමාන්‍ය නීති රීති අදාල නොවන විදේශ නීතිරීතිවලට අනුව විදේශීකයන් පාලනය කරන ප්‍රදේශයක් නිර්මාණය වන බව සමඟි ජනබලවේගයේ නීති ලේකම්වරයකු වන ජනාධිපති නීතිඥා තිසත් විජයගුණවර්ධන මහතා පැවසීය.

එම පනත් කෙටුම්පතින් යෝජනා කර ඇති වරාය නගර කොමිෂන් සභාවේ සියලුම සාමාජිකයන් ලෙස විදේශකයින් පත්කළ හැකි බවත් එසේ වුවහොත් එය ඉතාමත් භයානක තත්වයක් බවත් විජයගුණවර්ධන මහතා පැවසීය.

මෙම පනත් කෙටුම්පත ශ්‍රී ලාංකිකයන්ගේ පරමාධිපත්‍යය, ස්වෛරීභාවය, මානව හිමිකම් සහ ව්‍යවස්ථා ප්‍රතිපාදන අමු අමුවේ උල්ලංඝණය කරන එකක් බවත් එය පරාජය කිරීමට කළ හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවත් විජයගුණවර්ධන මහතා කීය. කොළඹ වරාය නගර පනත් කෙටුපත පිළිබඳව සමඟි ජනබලවේගයේ මතය ප්‍රකාශකිරීම සඳහා කොළඹ විපක්‍ෂනායක කාර්යාලයේදී අද (16) පැවැති මාධ්‍ය හමුවේදී ජනාධිපති නීතිඥා තිසත් විජයගුණවර්ධන මහතා එසේ පැවසීය. එහිදී ජනාධිපති නීතිඥා තිසත් විජයගුණවර්ධන මහතා එහිදී මෙසේ ද පැවසීය.

“මෙය ජනතාවගේ පරමාධිපත්‍යය, ස්වෛරීභාවය , මානව හිමිකම් සහ ව්‍යස්ථා ප්‍රතිපාදන අමු අමුවේ උල්ලංඝණය කරන පනත් කෙටුම්පතක්. ඒ හේතුවෙන් සමඟ ජනබලවේගය මෙය පරාජය කිරීමට කළ හැකි සියලුම දෙවල් කරනවා. එහි පළමු පියවර ලෙස ජ්‍යෙඨාධිකරණයේ නඩු දෙකක් පවරලා තියෙනවා.

කෙටිමුපතේ 3.1 වගන්තියේ සඳහන් වෙනවා වරාය නගර බලප්‍රදේශය තුළ ව්‍යාපාර, පරිපාලනය, නිගමන සහ වෙනත් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේ බලය වරාය නගර කොමිෂන් සභාවට පැවරෙන බව. මෙහි අර්ථනිරූපනයක් නොමැති මෙහෙයුම් කියන වචනය ඉතාමත් භයානකයි. ඒ වචනය තුළින් විශාල බලයක් ආරෝපනය වෙලා තියෙනවා. සමහර විට වරාය නගර තුළ ආරක්‍ෂාව වගේ දේවල් මෙහෙයුම්වලට වැටෙන්න පුළුවන්.

(ඡායාරූපය: ශාන්ත රත්නායක)