වරකාපොළ ප‍්‍රා.සභාවේ හිටපු සභාපතිට ජනාධිපති සමාව


(මනෝප‍්‍රිය ගුණසේකර)

අල්ලස් චෝදනාවකට වරදකරුවී වසර 18ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියමවී සිටි වරකාපොළ ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයාට ජනාධිපති සමාව ලැබී ඇති හෙයින් කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි මහෙන්ද්‍රන් මහතා විසින් ඔහු නිදහස් කරන ලදී.

වරකාපොළ ප‍්‍රදේශයේ මාර්ග තුනක් ඉදිකිරීමට අදාළ කොන්ත‍්‍රාත්තුව ලබාදීම සඳහා කොන්ත‍්‍රාත්කරුවකුගෙන් රුපියල් 25,000/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු කරමින් මහාධිකරණයෙන් නියම කළ දඬුවම අභියාචනාධිකරණය විසින්ද තහවුරු කර තිබියදී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට ලැබී ඇති බලතල යටතේ අදාළ සභාපතිවරයා මෙලෙස නිදහස් කර ඇතැයි හෙළි විය.

මීට වසර 23කට පෙර සිදුකළ වරදක් සම්බන්ධයෙන් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියමවී සිටියදී ජනාධිපති සමාව යටතේ මෙලෙස නිදහස් කොට ඇත්තේ වරකාපොළ ප‍්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කොට ඇති දැදිගම නෙළුම්දෙණියේ පදිංචි මාකේවිටගේ ලක්‍ෂමන් පතිරාජ සමරසිංහ නමැත්තෙකි.