වන විනාශය හෙළි කළ දැරියට අත නොතබනු


 

(අංජුල මහික වීරරත්න)

වනාන්තර විනාශය නතර කරන්නැයි ද සිංහරාජ වනාන්තරය ආරක්ෂා කිරීම වෙනුවෙන් හඬ නැගූ භාග්‍යා අබෙිරත්න දැරියට අනිසි බලපෑම් නොකරන්නැයිද ඉල්ලමින් ලක් වනිතා මවු වරුන්ගේ සංවිධානය අත්සන් දස ලක්ෂයක් ලබා ගැනීමේ වැඩසටහනක් අද (17) ඇරැඹීය.

රට පුරා ගොස් ජනතාව දැනුවත් කරමින් අත්සන් ලබාගැනීමේ වැඩ සටහන ක්‍රියාත්මක කරන බව එක්සත් ලක්වනිතා සංවිධානයේ කැඳවුම්කාරිනී ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය වැඩසටහන අරඹමින් පැවසුවාය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී මෙම වැඩසටහන ආරම්භ කෙරිණි.

රටේ වැසි වනාන්තර සහ සතා සීපාවා ආරක්ෂා කර ගැනීම යනු අනාගත පරපුර ආරක්ෂා කරගැනීම බව කී කෝන්ගහගේ මහත්මිය වන විනාශය නතර කිරීමට හඬ නගන දැරියක් වෙනුවෙන් පෙනී සිටීමට මව්වරුන් ලෙස වනිතා සංවිධානයට යුතුකමක් ඇතැයිද සඳහන් කළාය.

වනාන්තර විනාශය නතර කරමු යන්නෙන් සංවිධාන කෙරෙන අත්සන් දස ලක්ෂයක් ලබා ගැනීමේ වැඩ සටහනේ සමාරම්භක අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන,ලක් වනිතා සංවිධානයේ කැඳවුම්කාරිනී ශාන්තිනී කෝන්ගහගේ, දෙහිවල-ගල්කිස්ස නගර සභාවේ විපක්ෂ නායිකා සුනේත්‍රා රණසිංහ මහත්ම මහත්මීහුද සහභාගී වූහ.