වතු කම්කරු ජනතාවගේ සටන් පාඨයත් “ගෝඨා ගෝ හෝම්”


(නිමල කොඩිතුවක්කු)

සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාව සමග එක්ව රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යැවීමට වතු කම්කරු ජනතාව කඳුකරයෙන් නායකත්වය ලබාදෙන බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතා කොළඹ දී අද (5) පැවසීය.

භාෂාව වෙනස් වුණත් “ගෝඨා ගෝ හෝම්” වතු කම්කරු ජනතාවගේත් සටන් පාඨය බවට පත්ව ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කොළඹ මාක්ස් ප්‍රනාන්දු  මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

“මේ ආණ්ඩුවේ දුර්දාන්ත පාලනයට එරෙහිව අද මුළු රටම අවදි වෙලා සිටිනවා. කඳුකරයේ වතු කම්කරු ජනතාවත් මේ රටේ ප්‍රධාන ජන කොට්ඨාශයක්. ඒ නිසා අපි ශ්‍රී ලාංකිකයන් හැටියට සිංහල දෙමළ මුස්ලිම් සහෝදර ජනතාව සමඟ ආණ්ඩුවට විරුද්ධව අපි අත්වැල් බැඳගන්නවා.  ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙදර යැවීමේ හැරීමේ සටනට වතුකරයේ ජනතාව සමග අපි නායකත්වය ලබා දෙනවා.

භාෂාව වෙනස් වුණත් ගෝඨා ගෝ හෝම්  අපෙත් සටන් පාඨයයි.  ගෝඨාභය රාජපක්ෂ මහත්තය විතරක් නෙමෙයි එතුමා සමග අනෙක් රාජපක්ෂ පවුලේ අනිත් අයත් යන්න ඕන.   රාජපක්ෂලා ගෙදර යන්න ඕන කියන එක අපි එක හඬින් ප්‍රකාශ කරනවා. ඔවුන් මේ රටට කරපු හරිය හොඳටම ඇති.