වඩුමඩු තහනමට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිලි 3 ක්


(නිමල කොඩිතුවක්කු)

වඩුමඩු තහනම් කිරීමෙන් වඩු කාර්මිකයන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට සඳහන් කරමින් සත්‍ය ගවේෂකයෝ සංවිධානය සහ වඩු කාර්මිකයන් පිරිසක් මානව හිමිකම් කොමිසන් සභාව වෙත අද (10) පැමිණිලි 03 ක්  ඉදිරිපත් කරනු ලැබීය.

වඩුමඩු තහනම් කිරීමෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවසථාවේ 14/W වගන්තිය ප‍්‍රකාරව තමන්ට අභිමත වෘත්තියක නියැලීමේ අයිතිය උල්ලංඝනය වන බවට පවසමින්  වඩු කාර්මිකයන් පිරිසක් විසින් පැමිණිලි 02 ක් සහ   සත්‍ය ගවේෂකයෝ සංවිධානය එක් පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය.

වඩු මඩු තහනම් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය අහෝසි කිරීමට පියවර නොගතහොත් ඉදිරියේදී අධිකරණ ක‍්‍රියාමාර්ගයකට එළැඹෙන බවත් පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ  කැඳවුම්කරු නීතීඥ පේ‍්‍රමනාත් දොලවත්ත මහතා පැවැසීය.

වඩුමඩු තහනම් කිරීමෙන් වඩු කාර්මිකයන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට සඳහන් කරමින් මානව හිමිකම් කොමිෂන් සභාවට සෙසු පැමිණිලි ඉදිරිපත් කර ඇත්තේ ජනිත් ප‍්‍රනාන්දු සහ ලක්සිරි ප‍්‍රනාන්දු යන වඩු කාර්මිකයන් දෙදෙනා විසිනි.