ලොව දිළිඳුතම ජනාධිපති යන නාමයෙන් ලොව පුරා ප්‍රසිද්ධියට පත්, ලතින් ඇමෙරිකාවට අයත් උරුගුවේ රාජ්‍යයේ හිටපු ජනාධිපති හෝසේ මුජිකා දිවියෙන් සමුගත්තේය. ඔහුගේ වයස අවුරුදු 89 කි.
වාමාංශික දේශපාලනඥයකු වූ මුජිකා, ප්‍රගතශීලී සමාජ ප්‍රතිසංස්කරණ රැසක් හඳුන්වා දුන් නායකයෙකි. ඔහු සමාජ ක්‍රියාකාරියකු ලෙස ද ප්රකටය.
මුජිකාගේ අභාවය ලොවට දැනුම් දුන්නේ, වත්මන් උරුගුවේ ජනාධිපති යමන්ඩු ඔර්සි විසිනි. ‘ඔහු සැබෑ නායකයෙක්. අවංක මිතුරෙක්. උරුගුවේ වැසියන්ගේ හද ගැස්ම ඔහුයි. ඉතිං ආයුබෝවන්’ යනුවෙන් ඔර්සි, හිටපු ජනාධිපතිවරයා ගැන ගුණ කථනයක් ද කර ඇත.
මුජිකා පිළිකාවකින් පීඩා වින්දේය. තමන් පිළිකා රෝගියකු බවත්, තමන්ට ජීවත් වීමට වැඩි කාලයක් නොමැති බවත් මුජිකා මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ 2024 දීය. ඊට අමතරව, මුජිකා වකුගඩු අක්‍රිය වීමේ රෝගී තත්වයකට ද මුහුණ පා සිටි බව පැවැසෙයි.
කියුබානු විප්ලවයෙන් පන්නරය ලැබූ මුජිකා, 1960 දශකයේ අවි අතට ගත් වාමාංශික ගරිල්ලා සටන්කාමියකු විය. එදා උරුගුවේ රාජ්‍යයේ පැවැතියේ හමුදා පාලනයකි. හමුදා අත්අඩංගුවට පත්වුණු මුජිකා වසර 15 ක් සිරබත් කෑවේය. ඒ, නොයෙක් ආකාරයේ වධ හිංසාවලට ලක් වෙමිනි.
මුජිකා, උරුගුවේ ජනාධිපති ධුරයට පත් වූයේ 2009 වසරේ පැවැති ජනාධිපතිවරණයෙන් සියයට 50 කට වැඩි ප්‍රතිශතයක් දිනා ගනිමිනි. 2010 සිට 2015 තෙක් මුජිකා ජනාධිපති ධුරය හෙබවූ අතර එම කාලයේ උරුගුවේ ආර්ථිකය පිබිඳීමකට ලක් විය. ඔහු හඳුන්වා දුන් ප්‍රතිසංස්කරණ බොහෝ දෙනාගේ පැසැසුමට ද හේතුවක් විය.
උරුගුවේ වැසියන්ගේ අදහස නම්, ඔවුන්ට හිමිවුණු ඉතාමත්ම නිහතමානී ජනාධිපතිවරයා හෝසේ මුජිකා බවය.
ජනාධිපති ධුරය හොබවද්දී පවා මුජිකා ජනාධිපති මන්දිරය වෙනුවට , පිටිසරබද පිහිටි සිය ගොවිපොල නිවසේ පදිංචි වීම ඊට හේතුවය. මියයනතුරුම මුජිකා භාවිතයට ගත්තේ පැරණි සහ අබලන් වූ වොක්ස්වැගන් රථයකි. මුජිකා මෙන්ම මෙම වෝක්ස්වැගන් රථය ද ලොව ජනප්‍රියය.
(ඒ.එෆ්.පී.)