
(අංජුල මහික වීරරත්න)
ගොවීන්ගෙන් ලොකු ලූනු මිලදී ගැනීමේදී අවම මිලක් නියම කරන්නැයි ලූනු ගොවීහු කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගෙන් ඉල්ලීමක් කළහ.
එමෙන්ම ලොකු ලූනු සඳහා මිලදී ගැනීමේ යාන්ත්‍රණයක් සකසන ලෙසද ඔවුහු ඉල්ලා සිටියහ.
ලොකු ලූනු ගොවීන් සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා බත්තරමුල්ල ගොවිජන මන්දිරයේදී පැවති සාකච්ඡාවකදී මෙම ඉල්ලීම ඉදිරිපත් විය.
මෙහිදී ලොකු ලූනු ගොවීන් මුහුණ දෙන ගැටළු පිළිබඳව සාකච්ඡා කළ අතර ගොවීන්ගේ ප්‍රධාන ඉල්ලීමක් වශයෙන් ඉදිරිපත් වූයේ ඔවුන්ගේ අස්වැන්න සඳහා සාධාරණ මිලක් ලබා ගැනීම සහ ඔවුන් අඛණ්ඩව කර්මාන්තයේ රැඳී සිටීමට දිරිගැන්වීම සඳහා ආනයනික ලොකු ලූනු සඳහා කිලෝවකට රුපියල් 100 ක ආනයන බද්දක් පැනවීමයි.
එහිදී නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා කීවේ වෙළඳපොළ ප්‍රශ්නය ක්ෂණිකව විසැඳිය නොහැකි අතර එය ක්‍රමානුකූලව ගොවීන් සහ පාරිභෝගිකයන් යන දෙපිරිසටම වාසිදායක වන ආකාරයේ විසඳාගත යුතු බවයි. ගොවීන් ඉදිරිපත් කළ යෝජනා ආහාර සුරක්ෂිතතා කමිටුවට ඉදිරිපත් කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කීය.

