ලයිසියම් ජාත්‍යන්තර පාසල පරිසරය රැකීමට නව පිම්මක් පනී


(යොහාන් භාසුර)

ගෝලීය උණුසුම සහ අනපේක්ෂිත ගංවතුර තත්ත්වයන් පාලනය කිරීමට නම් ගෝලීය වශයෙන් පරිසරය පිළිබඳව දැණුවත් කරන පරපුරක් නිර්මාණය කිරීමට පාසල් අධ්‍යාපනට සුවිශේෂී වගකීමක් පැවරී ඇතැයි තමා විශ්වාස කරන බව ශ්‍රී ලංකාවේ සහකාර ඉන්දීය මහ කොමසාරිස් වෛද්‍ය අතීරා එස්. මහත්මිය පැවසුවාය.

ඇය මේ බව ප්‍රකාශ කළේ ලයිසියම් ජාත්‍යන්තර පාසල කුරුණෑගල ඉදිකළ "අවම කාබන් පාසටහන් දැක්මක් සහිත ශ්‍රී ලංකාවේ පළමු පාසල් පරිශ්‍රය" විවෘත කිරීමේ අවස්ථාවේ ප්‍රධාන ආරාධිත දේශනය පවත්වමිනි. "මෙම පාසලේ පළමු අදියර වර්ග මීටර් 121,405.693 ක භූමි ප්‍රදේශයක පැතිරී ඇති අතර ස්වාභාවික පාරිසරික තත්වයන් ආරක්ෂා කරමින් පාසල ඉදි කර තිබේ.

තම පාසලට දෛනිකව දරුවන් රැගෙන එන වාහන 1500 - 2000 ත් අතර ප්‍රමාණයක් කුරුණෑගල නගරයට පැමිණීම වැලැක්වීමට පාසල් බස් රථ සේවාවක් දිශා 6 කින් ආරම්භ කිරීම මෙම වැඩපිළිවෙළට සමගාමීව ක්‍රියාත්මක කිරීමට කුරුණෑගල ලයිසියම් පාසල කටයුතු කර ඇති අතර, එය පාසල් ශිෂ්‍ය ප්‍රවාහන සේවා නිසා මෙරට පරිසරයට මුදා හැරෙන කාබන් ප්‍රමාණය අවම කිරීමේ සංකල්පය යථාර්ථයක් කිරීමේ පූර්වාදර්ශයක් ලෙස සැලකිය හැක.

සමස්ත පාසලම කිලෝවෝට් 250 සූර්ය බලශක්තියෙන් බල ගැන්වෙන අතර, අතිරික්ත විදුලිය ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ.ඉදිරියේ දී වැඩි සූර්ය බලශක්ති ප්‍රමාණයක් ජනනය කිරීමට මෙහි සැලසුම් සකස් කර ඇත.

එමෙන්ම පාසල් භූමිය තුළ කාබනික පොහොරින් පෝෂණය වන වගාබිම්, කුඹුරු,මෙන්ම පවතින ස්වාභාවික ජල උද්‍යානයන්ට හානි නොවන ලෙස සමස්ත පාසල් පරිශ්‍රය ඉදිකර තිබේ.එය නව ගෝලීය අධ්‍යාපන සංකල්පයන් හා බද්ධ වෙමින් තම පාසල් අධ්‍යාපන හැදෑරීමට මෙරට සිසුන්ට ලැබෙන නැවුම් අත්දැකීමක් වනු ඇත" යැයි ඇය ප්‍රකාශ කළාය. 

ගෝලීය උණුසුම හා වායුගෝලීය කාබන් අවම පරිසරයක් නිර්මාණය කිරීම සංකේතවත් කරමින් සහකාර ඉන්දීය මහකොමසාරිස්වරිය ලයිසියම් පාසල් භූමියෙහි ඖෂධීය නෙල්ලි ශාඛයක් ද රෝපණය කළාය. මහා සංඝරත්නය, සර්ව ආගමික පූජක ප්‍රසාදීන් වහන්සේලා, වයඹ පළාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (පරිපාලන) ඩබ්.එම්.සී.කේ මහමිතව, කුරුණෑගල නාගරික කොමසාරිස් ආලෝක බණ්ඩාර, කුරුණෑගල විජයබා පාබල රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් එම්.ඒ.ඩී.ජේ.ඩී ගුණතිලක, ලයිසියම් ජාත්‍යන්තර පාසල් නියෝජ්‍ය සම්බන්ධීකරණ විදුහල්පතිනි කුමාරි විජේරත්න , කුරුණෑගල ලයිසියම් පාසල් විදුහල්පති චන්දන බස්නායක යන මහත්ම මහත්මීහු ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

\