ලබන වසරේදී නව බැංකු පනතක්


(හර්ෂණ තුෂාර සිල්වා)

ශ්‍රී ලංකා මහ බැංකුව නව බැංකු පනතක් කෙටුම්පත් කිරීම ආරම්භ කර ඇති බවත් ලබන වසරේදී නව පනත බලාත්මක කිරීමට අපේක්ෂා කරන බවත් මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා අද (6) පැවැසීය.

ශ්‍රී ලංකා මහ බැංකුව වාර්ෂිකව ප්‍රකාශයට පත් කරන “ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පෙර දැක්මේ” 13 වන ප්‍රකාශය ඉදිරිපත් කරමින් අධිපති මහචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් ඒ බව කීය.

ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේදී ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රකාශයට පත් කෙරුණු අතර එහිදි අදහස් දැක්වූ මහාචාර්ය ලක්ෂ්මන් මහතා මෙසේ ද කීය.

“ශ්‍රී ලංකා මහ බැංකුව නව බැංකු පනතක් කෙටුම්පත් කිරීම ආරම්භ කළා. 2021 වසරේදී නව පනත බලාත්මක කිරීමට අපේක්ෂා කරනවා.

යෝජිත පනතේ ප්‍රධාන අංග අතරට බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා එකම ආකාරයේ බැංකු බලපත්‍රයක් හඳුන්වාදීම, බැංකුවල විශාලත්වය හා ඒවායේ මෙහෙයුම්වල ස්වභාවය යනාදියට අනුකූලව බැංකු නියාමන සමානුපාතිකත්වය ඇති කිරීම, විදේශීය බැංකු ශාඛා ශ්‍රී ලංකාව තුළ උපසමාගම් ලෙස ලියාපදිංචි කිරීම සහ ඒවාට බාහිර අහිතකර බලපෑම්වලින් සිදුවන බලපෑම්වලින් මුදාලීම, බැංකු ශාඛා සහ අනෙකුත් බැංකු පිහිටුවීම සඳහා අනුමැතිය ලබාගැනීමේ ක්‍රියාපටිපාටිය විධිමත් කිරීම, පාරිභෝගික ආරක්ෂාව, තැන්පතු රක්ෂණය සහ බැංකුවල යහපාලනය ශක්තිමත් කිරීම, අක් වෙරළ බැංකු ඒකකයේ සහ දේශීය බැංකු ඒකකයේ මෙහෙයුම් එකම ව්‍යාපාරයක් බවට ඒකාබද්ධ කිරීම සහ නිරාකරණය, බලාත්මක කිරීම හා අධීක්ෂණ කටයුතු ඇතුළත් වෙනවා.

එමෙන්ම නව බැංකු පනතට කොළඹ වරාය නගරයේ (කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයේ) ස්ථාපිත කිරීමට නියමිත බැංකු සඳහා රෙගුලාසිද ඇතුළත් වෙනවා”.

අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක අජිත් නිවාඞ් කබ්රාල්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල, ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.