ලබන අප්‍රේල්-මැයි වන විට දැවැන්ත විදුලි අර්බුදයක්


(නිමල කොඩිතුවක්කු)

මේ වසරේදී සහ ලබන වසරේදී ජාතික විදුලිබල පද්ධතියට එකතුවිය යුතු මෙගාවොට් 100 ක් පමණ වන අවශ්‍ය විදුලි ධාරිතාවය එක් නොවීමෙන් ලබන වසරේ අපේ‍්‍රල් - මැයි වන විට දිවයිනට දැවැන්ත විදුලි අර්බුදයකට මුහුණ දීමට සිදුවිය හැකි බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

එම විදුලි අර්බුදය ඇතැම් විට  විදුලි කප්පාදුවක් දක්වා යා හැකි බවත් එම අමාත්‍යාංශය සඳහන් කරයි.

ලංකා විදුලිබල මණ්ඩලය, මහජන උපයෝගීතා කොමිසන් සභාව සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ මගී ප‍්‍රවාහන කලමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතර ලංකා ඛනිජ තෙල් අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවේදී මේ බව අනාවරණය විය.

විදුලිබල පද්ධතියට අමතර ධාරිතාවයක් එක්කළ  හැකි සූර්යබල ශක්ති සහ සුළං බල ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය සහ විදුලිබල අමාත්‍යාංශය විසින් කිසිදු පියවරක් ගෙන නොමැති බවත්  පසුගිය වසර 5ක කාලය තුළ සූර්ය විදුලිබල පද්ධති ක‍්‍රියාත්මක කිරීම  අකර්මන්‍ය කිරීමට කටයුතු කර ඇති බවත්  මෙහිදී අනාවරණය විය.

මෙසේ ජාතික පද්ධතියට අලුතින් විදුලි ධාරිතාවයක් එක් නොවිමට හේතුවී ඇත්තේ ජාතික විදුලිබල පනත බවත් අදාළ පනතේ පවතින යම් යම් වගන්ති හේතුවෙන් නව විදුලි උත්පාදනය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට බාධාවක් වූ බවත්  එම හමුවට එක්වූ  විදුලිබල ක්ෂේත‍්‍රයේ  ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පෙන්වා දී තිබේ.

ජාතික විදුලිබල පනත පිළිබඳව කරුණු සොයා බලා, විදුලි නිෂ්පාදනයට එම පනත මගින් කිසියම් බාධාවක් වන ආකාරයේ වගන්ති ඇත්නම් ඒවා සංශෝධනය කර, විදුලි නිෂ්පාදනය වෙනුවෙන් එල්ල වී ඇතැයි සැළකෙන බාධාවන් ඉවත් කිරීම සඳහා අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මියගේ ප‍්‍රධානත්වයෙන්  විශේෂ කමිටුවක් පත් කිරීමටද අමාත්‍යවරයා එහිදී පියවර ගනු ලැබීය.

එසේම ලබන සතියේ දී මේ සම්බන්ධයෙන් වන අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාවක් ඉදිරිපත් කිරීමට ද කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත්  පැවසීය.

එසේම ලබන වසර  වනවිට ඉදිකිරීමට යෝජිත නව එල්.එන්.ජී. බලාගාරයේ ඉදිකිරීම් කටයුතු සදහා මේ වනවිට වෙන්කර ඇති අක්කර 20 ක භූමි ප‍්‍රමාණයට තවත් අක්කර 10ක ප‍්‍රමාණයක් එක්කර හැකි ඉක්මණින් අදාළ ව්‍යාපෘතිය ආරම්භ කරන ලෙසත් අමාත්‍යවරයා නිලධාරීන් උපදෙස් ලබා දුන්නේය.