ලක්ෂ 8කට ගජමුතු විකුණන්න යද්දී අල්ලයි


(සිතුම් චතුරංග)

අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළකර රුපියල් ලක්ෂ 8ක මුදලකට ගජමුතු දෙකක් අලෙවි කිරීම සඳහා රැගෙන ආ පුද්ගලයකු අද(18) මුලතිව් නගරයේදී අත්අඩංගුවට ගත් බව මුලතිව් පොලිසිය කියයි.
 
මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අන්තර්ජාලය ඔස්සේ සිදුකෙරන ජාවාරමක් සම්බන්ධයෙන් සිදුකළ විශේෂ විමර්ශනයකට අනුව, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරියකු උපාය දූතයකු ලෙස යොදාගනිමින් සැකකරුගෙන් ගජමුතු මිලදීගැනීමට යන මුවාවෙන් මෙම වැටලීම කර ඇත.
 
එහිදී ගජමුතු අලෙවි කිරීම සඳහා සැකකරු පැමිණි මෝටර් රථයද පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
අන්තර්ජාලය ඔස්සේ ගැනුම්කරුවකු සොයාගැනීම සඳහා ගජමුතු පිළිබඳ සඳහන් කරමින් සැකකරු මහියංගනය ප්‍රදේශයේ සිට මුලතිව් ප්‍රදේශයට පැමිණ ඇති බවට තොරතුරු අනාවරණයවූ බවද පොලිසිය පැවසීය.අත්අඩංගුවටගත් සැකකරු මහියංගණය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයකු වේ.
 
සැකකරු හා ගජමුතු පිළිබඳ වැඩිදුර විමර්ශන සඳහා මුලතිව් පොලිස් ස්ථානය වෙත භාරදීමෙන් අනතුරුව මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා  නිලධාරීන් හා මුලතිව් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.