ලක්ෂ 11 දුම්වැටි තොගයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට


(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ටෝනි කරුණානායක)

හොර රහසේ මෙරටට ගෙන ආ රුපියල් ලක්ෂ 11 කට වැඩි වටිනාකමින් යුත් දුම්වැටි තොගයක්  මිනුවන්ගොඩ අස්වාන ප‍්‍රදේශයේ නිවසක සගවා තිබියදී අද (3) අලූයම සිදුකළ වැටලීමකදී සැකකරුවෙකු සමඟ අත්ඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය කියයි.

මෙම දුම්වැටි තොගය නිවසේ  ඇදක් යට මුද්‍රා කළ බිස්කට් පෙට්ටි වල අසුරා තිබියදී සොයාගත් බව පොලිසිය පවසයි.

මෙම දුම්වැටි තොගය බන්ඩල් 10 කින් හා පැකට් 706 කින් සමන්විත වන අතර එහි දුම්වැටි 15,720 ක ප‍්‍රමාණයක් ,අඩංගු බව ගණනය කිරීමේදී හෙළි වී ඇත.

කාලයක් තිස්සේ මවක හා දියණියක විසින් ආරක්ෂක අංශ වලට හොර රහසේ මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාව සහ සිංගප්පූරුව යන රටවල්වල සිට තීරු බදු රහිතව දුම්වැටි ප‍්‍රවාහනය කර ඇති බවද  පොලිස් මූලික පරීක්ෂණ වලින් අනාවරණය වී තිබේ.

මෙම දුම්වැටි තොගය සමග අත්අඩංගුවට ගෙන ඇත්තේ මිනුවන්ගොඩ තානයම් පාරේ පදිංචිකරුවෙකි. අත්අඩංගුවට ගත් සැකකරු අද (3) සවස මිනුවන්ගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.