ලක්මව රනින් සැරසූ දිනේෂ්ට ජනපතිගෙන් සුබපැතුම්


(නිමන්ති රණසිංහ)

“ජාත්‍යන්තර ක්‍රීඩා සිතියමේ ශ්‍රී ලංකාව ඉහළින් ඔසවා තැබීමට ඔබ ගත් ප්‍රයත්නය මා ඉතාමත් අගය කොට සලකමි” යනුවෙන් සඳහන් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රන්පදක්කම් ලාභී දිනේෂ් ප්‍රියන්ත මහතාට සුභ පතමින් සිය ට්විටර් ගිණුමේ පණිවුඩක් තබා ඇත.

ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ පළමුවරට ‘පැරාලිම්පික්’ රන් පදක්කමක් දිනූ දිනේෂ් ප්‍රියන්ත මහතාට සුභ පතමින් ජනාධිපතිවරයා අද (30) පෙරවරුවේ සිය ට්විටර් ගිණුමේ එසේ සටහනක් තබා තිබේ.

එමෙන්ම, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ඔවුන්ගේ ට්විටර් පණිවුඩයක් මඟින් දිනේෂ් ප්‍රියන්ත මහතාට සිය සුබපැතුම් එක් කිරීමට කටයුතු කර තිබුණි.

මෙරට ක්‍රීඩා ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සටහන් කරමින් හෙල්ල විසිකිරීමේ තරගයෙන් පළමු පැරාලිම්පික් රන් පදක්කම හිමිකර ගැනීමට ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත හේරත් මහතා “2020 ටෝකියෝ පැරාලිම්පික් උලෙළේදී” අද (30) සමත් විය.