ලංගම බසයට පහර දුන් 5 ක් අල්ලයි


(ඉන්දිකා රාමනායක)

ලංගම බස් රථයක් ඉස්සර කිරීමට නොදීමේ සිද්ධියක් මුල්කරගෙන කොළඹ ගෑස්පහ හංදියේදී ක්‍රිකට් පිති, යකඩ පොලු රැගෙන ලංගම බස් රථයකට ගොඩ වී රියදුරුට, කොන්දොස්තරට හා බස් රථයට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් තරුණයන් පස් දෙනකු අද (8) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.


කැකිරාව ඩිපෝවට අයත් මෙම බස් රථයට රුපියල් 40,000 ට ආසන්න අලාභයක් සිදුව ඇති බවද පොලිසිය පවසයි.

ගලෙන්බිදුනුවැව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු මෙම බස් රථයට ඊයේ (7) සවස   කැලණිතිස්ස විදුලි බලාගාරය අසලදී යතුරු පැදියයකට ඉස්සර කිරීමට ඉඩ නොදීම සම්බන්ධයෙන් යතුරුපැදිය පැදවු වයස අවුරුදු 18 ක පමණ තරුණයකු රියදුරු සමග බහින් බස් වී ඇති බව පොලිසියට පැමිණිලි ලැබී ඇත.

සැකකරුවන් පිරිස ගෑස්පහ හංදිය ප්‍රදේශයේ බස් රථය නවත්වාගෙන මෙම පහර දීම සිදුකර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් හෙළි වු තොරතුරු අනුව සෙසු සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන ඇත.