
(විමුක්ති එස් රුද්‍රිගු)
රුසියාවේ මොස්කව් නගරය ඉලක්ක කරමින් පැමිණි ඩ්‍රෝන යානා දෙකක් බිම හෙළීමට ගුවන් ආරක්ෂණ පද්ධතිය සමත් වූ බව මොස්කව් නගරයේ නගරාධිපති සර්ගේ සොබ්යනින් ප්‍රකාශ කර ඇත.
කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් ජීවිත හෝ දේපල හානි වාර්තා වී නොමැති බව නගරාධිපතිවරයා පෙන්වා දී තිබේ.
නව මොස්කව් ප්‍රදේශයේදී මෙම ඩ්‍රෝන යානා දෙක බිම හෙළා ඇත.මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් යුක්රේන ඩ්‍රෝන 5 ක් රුසියාවට පහර දීම සඳහා අද(04) උදෑසන පැමිණ ඇති බවත් ඉන් ඩ්‍රෝන යානා හතරක් නව මොස්කව් ප්‍රදේශයේදී වෙඩි තබා බිම හෙළා ඇති බවත් එක ඩ්‍රෝන යානයක් මොස්කව් නගරයට කිලෝ මීටර 190 ක් පමණ දුරින් කඩා වැටී ඇති බවත් පවසා තිබේ.
ඩ්‍රෝන යානා බිම දැමීමෙන් පසුව ප්‍රකාශයක් නිකුත් කරමින් රුසියානු විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත්තේ යුක්රේනය බටහිර රටවල් ලබා දෙන ආධාර භාවිත කරමින් ත්‍රස්තවාදී ක්‍රියාවල නිරත වන බවයි.ඒ අනුව ඇමෙරිකා එක්සත් ජනපදය සහ එහි මිතුරන් යුක්රේනයේ ත්‍රස්තවාදී ක්‍රියාවලට අනුග්‍රහය දක්වන බවයි.

