(මනෝප්‍රිය ගුණසේකර)
මීගමු කලපු සංවර්ධනයට මහා භාණ්ඩාගාරයෙන් ලබා දුන් රුපියල් කෝටියකට අධික මුදලක් අවභාවිත කරමින් පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ අවසන් රැළිය මීගමු නගර සභා ක්‍රීඩාංගනයේ පැවැත්වු බවට චෝදනා ලැබ සිටින හිටපු ධීවර කටයුතු නියෝජ්‍ය ඇමති සරත් කුමාර ගුණරත්න මහතා ඇතුළු විත්තිකරුවන් 6දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන ජුලි 06 වැනදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් ඉර්ෂඩීන් මහතා අද (19) නියම කළේය.
පුත්‍රයාගේ රෝගයකට ප්‍රතිකාර ගැනීම සඳහා අධිකරණයේ අවසර මත විදේශ ගතවු, නඩුවේ 06 වැනි විත්තිකාර ධීවර සංස්ථාවේ හිටපු සභාපතිවරයකු වන ලක්මිණ මුනිදාස මහතාට කොරෝනා වයිරස තත්වය හේතූවෙන් යළි ලංකාවට පැමිණීමට නොහැකිව සිටින බව පවසමින් නීතීඥ අසිත විපුලනායක මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසුරුවරයා එලෙස නියම කළේය.
2014 නොවැම්බර් 20 වැනිදාත් 2015 ජනවාරී 07 වැනිදාත් අතර කාලය තුළ කොළඹ හා මීගමුවේදී ලංකා ධීවර වරාය නීතීගත සංස්ථාව බාරයේ තිබු රජයට අයත් රුපියල් 112,78,000ක මුදලක් වංක ලෙස සිය ප්‍රයෝජනයට ගැනීම සඳහා කුමන්ත්‍රණය කළ බව සියලුම විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා ඇත.
මෙලෙස චෝදනා ලැබ සිටින්නේ චන්දන පැල්පිට, පියල් අබේසේකර, හිටපු ධීවර කටයුතු නියෝජ්‍ය ඇමති සරත් කුමාර ගුණරත්න, ඔහුගේ බෑණා වන උපුල් චමින්ද පෙරේරා කුමාරසිංහ, ධීවර සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ සහ ලක්මිණ මුනිදාස නමැත්තන්ය.
බරපතල වංචා සහ දුෂණ විමර්ශන කොමිසම හමුවේ මුලින්ම මේ පිළිබඳ තොරතුරු හෙළි වු අතර එහි නිර්දේශ මත රහස් පොලිසිය විසින් සිදු කරන ලද විමර්ශනයකින් අනතුරුව නිතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙලෙස අධිචෝදනා ගොනු කොට ඇත.
බරපතල වංචා සහ දුෂණ සිද්ධීන් සෙවීම සඳහා පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිසමේ නිර්දේශ මත පවරන ලද මුල්ම නඩුව වන්නේ මෙයයි.
නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී නඩුවේ 06 වැනි විත්තිකාර ලක්මිණ මුනිදාස මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අසිත විපුලනායක මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් නඩු විභාගය කල් තැබු විනිසුරුවරයා නඩුව ලබන ජුලි 06 වැනිදා යළි කැඳවීමට වැඩිදුරටත් නියම කළේය.
පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ සුදර්ශන පෙරේරා මහතා පෙනී සිටියේය. විත්තිකරුවන් වෙනුවෙන් නීතීඥ අසිත විපුලනායක, නීතීඥ ගනේෂ් ධර්මවර්ධන මහතා ඇතුළු නීතීඥවරුන් කණ්ඩායමක් සමඟ ජනාධිපති නීතීඥ සම්පත් මෙන්ඩිස් මහතා පෙනී සිටියේය.

