රිෂාඩ් සහ රියාජ් ගේ පෙත්සම් සළකා බලන්න දිනයක්


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන  රැදවුම් නියෝග යටතේ රදවාතබා සිටින තමන් වහාම  මුදාහැරීමට නියෝගය කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් සහ ඔහුගේ   සොහොයුරු රියාජ් බදුර්දීන් යන මහත්වරු ගොනු කල  මූලික අයිතිවාසිකම් පෙත්සම්  දෙක ලබන 23 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය   අද (11)  දින නියම කළේය.

මෙම පෙත්සම්  ඊයේ එල්. ටී.බී. දෙහිදෙනිය,  ප්‍රීති පද්මන් සූරසේන,  ශිරාන් ගුණරත්න  යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබිණි .

එහිදී  පෙත්සම් කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆායිස් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කියා සිටියේ පෙත්සම් වල සදහන්  කරුණු  කිහිපයක් තහවුරු කිරීම සඳහා අවශ්‍ය වන ලේඛන කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව ඇති බව ය.

එම ලේඛන ඉල්ලා ඇතැත් මෙතෙක්  ඒවා තමන් ට නොලැබුණු බව ඒ මහතා අධිකරණය හමුවේ කියා සිටියේය.

නීතිපතිවරයා  වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා මෙහිදී සදහන් කර ඇත්තේ එම ලියකියවිලි  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව තිබේ නම්  සතියක කාලයකදී ඒවා ලබා දිය  හැකි බව ය.

කරුණු සලකා බැලූ අධිකරණය ඒ සඳහා කල් ලබා දීමට තීරණය කළ අතර පෙත්සම් දෙක ලබන 23 වැනිදා සලකා බැලීමට දින නියම කෙරිණි.

මීට පෙර මෙම පෙත්සම් සලකා බැලීමෙන් ඉවත් වීමට  ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා මහතා යසන්ත කෝදාගොඩ මහතා  තීරණය කර තිබිණි.

තමන්   අත් අඩංගුවට ගෙන රදවා තබා ගැනීමෙන්  මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බව ට තීරණය කරන ලෙස පෙත්සම්කරුවන්  පෙත්සම් මගින් ඉල්ලා  සිටිති.

ඒ  වෙනුවෙන්  රුපියල් කෝටි පන්සියය බැගින්  වන්දි මුදලක්  ලබා දෙන්නැයි ද   ඔවුන්  වෙන්වෙන්ව ගොනු කල පෙත්සම් මගින් ඉල්ලා ඇත.

නීතිඥ  ගෞරි සංගරී තවරාසා මහත්මිය මාර්ගයෙන් ගොනු කළ මෙම පෙත්සම් වල වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය 111හී ස්ථානාධිපති,  එම දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති,  එහි අධ්‍යක්ෂ,  එහි නියෝජ්‍ය පොලිස්පති,  පොලිස්පති,  සහ නීතිපති  නම් කරනු ලැබ සිටිති.

පසුගිය  අප්‍රේල් මස  සිය පවුලේ අය සමග නිවසේ සිටියදී රාත්‍රයේ  පොලිස් කණ්ඩායමක් පැමිණ පෙත්සම්කරුවන්  අත්අඩංගුවට ගෙන තිබේ.  අත්අඩංගුවට ගැනීමට හේතු විමසා සිටි නමුත් ඒ සම්බන්ධයෙන් කිසිදු හේතුවක් නොදැක්වූ බව පෙත්සම් කරුවන්   සිය පෙත්සම් වලින්  සදහන් කර සිටිති
 
ඉන්පසුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ  රැදවුම් නියෝග ගෙන  පෙත්සම්කරුවනා රහස් පොලිස් බාරයේ තබා ඇති බවත් , පෙත්සම්කරුවන්  කිසිදු නීතිවිරෝධී කටයුත්තක් සිදු කර නොමැත‍.එබැවින් පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනි යැයි පෙත්සම්කරුවෝ කියා සිටිති.
 
මේ සිද්ධීන් තුළින් පෙත්සම්කරුවන්ගේත් ,ඔවුන්ගේ  පවුලේ අයගේත් ප්‍රතිරූපයට අප්‍රතිකාරී හානියක් සිදුව ඇති බැවින් මෙම පෙත්සම් විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසත් ,තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප්‍රකාශ කරන ලෙසත් , තමා වහාම මුදාහැරීමට වගඋත්තරකරුවන්ට නියෝග කරන ලෙසත් ,  ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

නීතිඥ ගෞරි සංගරී තවරාසා මහත්මිය ගේ උපදෙස් මත ජනාධිපති නීතීඥවරුන් වන ෆායිස් මුස්තාපා,  අනිල් සිල්වා  සහ නීතීඥ  පුලස්ති හේවාමාන්න මහතා පෙත්සම් කරුවන් වෙනුවෙන් පෙනී සිටිති. නීතිපතිවරයා  වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා පෙනී සිටියේය.