
(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
මියගිය පසු සිදු කළ පී.සී.ආර්.පරීක්ෂණයකින් කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වූයේ යැයි කියන සිය පුතුගේ මෘත දේහය නැවත පී.සී.ආර්. පරීක්ෂාවකට ලක් කරන ලෙස ඉල්ලා ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි පියකු ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරන ලෙස නීතිපතිවරයා අද (17) අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ විනිසුරු මායාදුන්නේ කොරයා යන මහත්වරුන් හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා මේ බව සඳහන් කළේය.
කරුණු සලකා බැලූ අධිකරණය මෙම පෙත්සම විභාගයට ගැනීම සඳහා වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරනවාද නැද්ද යන්න පිලිබඳව හෙට (18) ප්‍රකාශ කරන බව සඳහන් කළේය.
මළසිරුර සම්බන්ධයෙන් කළ පී.සී ආර් පරීක්ෂණය දෝෂ සහිත බව තහවුරු කිරීමට පෙත්සම්කරු අසමත් ව ඇති අතර දෙවනි පී.සී ආර් පරීක්ෂණයක් පවත්වන ලෙස කරන ඉල්ලීම පදනම් විරහිත බැවින් මෙම ඉල්ලීම කරන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් විකුම් ද ආබෲ මහතා සදහන් කළේය.
මොහොමඩ් ඊබ්‍රා ලෙබ්බේ මොහොමඩ් හකීම් විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණි.
දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා, එහි අධිකරණ වෛද්‍ය නිලධාරී වරයා සෞඛ්‍ය ඇමැතිවරිය ඇතුළු 5 දෙනෙකු මෙහි වගඋත්තරකරුවෝ වෙති.

