රාජ්‍ය ආයතන ජලයට කෝටි 70ක් පොලු තියලා


 

( සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ  )

රාජ්‍ය කාර්යාල  දහසකට අධික සංඛ්‍යාවක් පානීය ජලය වෙනුවෙන් ජල සම්පත් හා ජලාපවාහන මණ්ඩලයට රුපියල් කෝටි හැත්තෑවකට වැඩි  හිඟ මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි එම මණ්ඩල ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ අනුව හිඟ බිල්පත් නොගෙවු  සියලුම රාජ්‍ය ආයතනවල බිල්පත්වලින් සියයට 2.5 ක අධිභාරයක්( දඩයක්) මේ මස මුල් සතියේ  සිට අයකිරීමට එම මණ්ඩලය තීරණය කර ඇත.

මෙසේ හිඟ බිල්පත්  කාලයක් තිස්සේ නොගෙවා ඇති රාජ්‍ය ආයතනවලින් වැඩි ප්‍රමාණයක් පොලීසි,හමුදා කඳවුරු සහ  රෝහල්   වේ.

මෙම අධිභාරය අයකිරීම පිළිබඳව සියලුම රාජ්‍ය ආයතන පසුගිය ජනවාරි මාසයේ සිට දැනුවත් කළ බව ජල සම්පත් හා ජලාපවහන මණ්ඩලයේ උසස් නිලධාරියෙක්  ලංකාදීපයට  පැවැසීය.

සාමාන්‍යයෙන් ජල බිල්පත  ලැබී දින 90කින් ගෙවීම නොකළහොත් මෙම අධිභාරය අය කෙරෙනු ඇත.

එසේම ජල බිල්පත ලැබී දින 14ක් ඇතුළත එය ගෙවනු ලැබුවහොත් සියයට 1.5ක වට්ටමක්  දෙන බව පැවසූ එම නිලධාරියා රාජ්‍ය  ආයතනවලට මෙන්ම  සියලු  පෞද්ගලික   ජල පාරිභෝගිකයන්ටද   ඒ වට්ටම  පොදුවේ   හිමිවන බව  ප්‍රකාශ කළේය.