
(මනෝප්‍රිය ගුණසේකර)
යහපාලන රාජ්‍ය පාලන සමයේදී පැවැත්වූ බැඳුම්කර වෙන්දේසි දෙකකදී රජයට රුපියල් කෝටි ගණනක පාඩු සිදුකළ බවට එම රජයේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා ගොනුකළ නඩු දෙක විභාග කිරීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් විශේෂ මහාධිකරණ විනිසුරු මඩුලු දෙකක් අද (18) පත්කරන ලදී.
2015 වසරේ පෙබරවාරි මස සහ මාර්තු මස පැවැත්වූ බැඳුම්කර වෙන්දේසි දෙකකදී රජයට රුපියල් කෝටි ගණනක පාඩු සිදුකළ බවට හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක, මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පෙචුවල් ට්‍රේෂරීස් ආයතනයේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස්, මහ බැංකුවේ නිලධාරීන් ඇතුළු 11 දෙනකුට එරෙහිව නීතිපතිවරයා වෙන වෙනම නඩු පවරා තිබිණි.
මේ අනුව එහි පළමු නඩුව විමසීම සඳහා කොළඹ මහාධිකරණයේ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත, මංජුල තිලකරත්න සහ මොහොමඩ් ඉර්ෂදීන් යන විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත්කර ඇති අතර එම බැඳුම්කර වෙන්දේසියේදී ලංසු ඉදිරිපත් නොකරන ලෙස ලංකා බැංකුවට, මහජන බැංකුවට සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව යන බැංකුවලට බලපෑම් කළ බවට පවරා ඇති නඩුව විභාග කිරීම සඳහා අමල් රණරාජා, (සභාපති), නාමල් බණ්ඩාර බලල්ලේ සහ ආදිත්‍ය පටබැඳි යන මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් පත්කර ඇත.

