රවිගේ දියණියගෙන් රහස් පොලිසියට පැය 6 ක ප්‍රකාශයක්


 බැඳුම්කර පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබාදුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණය සඳහා විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතාගේ දියණිය ඔනෙලා කරුණානායක මෙනෙවිය  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිමින් පැය හයකට අධික කාලයක් ලේඛන ඉදිරිපත් කරමින් ඊට අදාළ ප්‍රකාශ ලබාදුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

අමාත්‍ය රවී කරුණානායක මහතාගේ පවුලේ අයට අයත් පෞද්ගලික සමාගමක් වූ ග්ලෝබල් ට්‍රාන්ස්පොටේෂන් ඇන්ඞ් ලොජිස්ටික් පුද්ගලික සමාගමට අදාළ ආදායම් වියදම් විස්තර, බැංකු ගිණුම් සම්බන්ධ ලේඛන ද සමග ඔනෙලා කරුණානායක මෙනෙවිය ඊයේ (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට පැය හයකට අධික කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් පසු සවස පස්වරු තුනට පමණ පිටත්ව ගිය බව එම නිළධාරියා වැඩිදුරටත් පැවසීය.

මෙම සිද්ධියට අදාළව ලේඛන ද සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටිමින් ප්‍රකාශ ලබා දෙන ලෙසට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය ඔනෙලා කරුණානායක මෙනෙවිය වෙත නියෝග නිකුත් කරනු ලැබුවේ ඉකුත් 20 වැනිදාය. එමෙන්ම, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලේඛන නොමැතිව හෙට (25) දින ප්‍රකාශයක් ලබා දෙන ලෙසට ද අධිකරණයෙන් ඔනෙලා කරුණානායක මෙනෙවියට නියෝගයක් නිකුත් විණි. 

ග්ලෝබල් ට්‍රාන්ස්පොටේෂන් ඇන්ඞ් ලොජිස්ටික් පුද්ගලික සමාගම විසින් ඉකුත් 2015 ජනවාරි මස 01 වැනිදා සිට 2017 අගෝස්තු මස 02 වැනිදා දක්වා අතර කාලය තුළදී භාවිතා කරන ලද මුදල් පොත්, වවුචර්, බැංකු සාරාංශ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙසට ද අධිකරණයෙන් නියෝග නිකුත් වී තිබිණි.

එමෙන්ම, මෙම සිද්ධියට අදාළ සාක්ෂි ලබාදීම සඳහා ලබන 07 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතාට සහ ඔහුගේ බිරිඳ වූ මෙලරින් හිරන්ති කරුණානායක මහත්මියට ද අධිකරණ නියෝග නිකුත් වූයේ ඉකුත් 20 වැනිදාය.

ඉකුත් 2015 පෙබරවාරි මස 01 වැනිදා සිට 2016 මාර්තු මස 31 වැනිදා දක්වා අතර කාල සීමාව තුළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් පිළිබඳව පරීක්ෂා කිරීම, විමර්ශනය කිරීම හා වාර්තා කිරීම සඳහා පත්කරන ලද විමර්ශන කොමිෂන් සභාව විසින් ස්වකීය වාර්තාවේ සඳහන් කර ඇති 25 වන නිර්දේශය සම්බන්ධයෙන් 2018 ජනවාරි මස 24 වැනිදා සිට කරන ලද විමර්ශනයේ දී එකී කොමිෂන් සභාව විසින් 2017 අගෝස්තු මස 02 වැනිදා පවත්වන ලද විභාග සැසිවාරයේදී රවී කරුණානායක විසින් අසත්‍ය සාක්ෂි ලබාදුන් බවට අනාවරණය වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය බී වාර්තාව මගින් අධිකරණය වෙත කරණු ඉදිරිපත් කර තිබිණි. 

හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා දිවුරුම්පිට චේතනාන්විතව අසත්‍ය සාක්ෂි දී තිබෙන බව බැලූ බැල්මට පෙනී යන බැවින් ඔහු දණ්ඩ නීති සංග්‍රහයේ 188 වන වගන්තිය සමග කියවිය යුතු 190 වන වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු ‘අසත්‍ය සාක්ෂි’ ලබාදීමේ වරද (Offence of giving False evidence) සිදුකර ඇති බවට අනාවරණය වී ඇති බවට සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි.