රනිල් වෙනුවෙන් විපක්ෂ නායකයින් එක්වෙයි


(නිමල කොඩිතුවක්කු)

රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම හුදෙකලා සිදුවීමක් නොව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය සඳහා ප්‍රබල අභියෝගයක් යැයි  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයන් හමුවේ අද (25) කොළඹදී පැවසීය.

එම අභියෝගයට මුහුණ දීම සඳහා විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ එක්ව කටයුතු කිරීම අත්‍යවශ්‍ය යැයිද විපක්ෂනායකවරයා සඳහන් කළේය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම තුළ මතුව ඇති දේශපාලනික තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින්ගේ හමුවක් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී අද   පැවැත්විණ.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුලු දේශපාලන පක්ෂවල ප්‍රබලයින් මෙම සාකච්ඡාව සඳහා එක්විය.

ඒ අනුව සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂවල නියෝජිතයෝ මේ සඳහා එක්ව සිටියහ.

රනිල් වික්‍රමසිංහ මහතාගේ නඩු කටයුත්ත මෙන්ම ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩපිළිවෙළට එරෙහිව විපක්ෂය එකමුතුව දිගින් දිගටම ක්‍රියාත්මක වීමේ වැදගත්කම අවධාරණය කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි කටයුතු සඳහා පක්ෂ ලේකම්වරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රියාකාරී කමිටුවක් පත් කිරීමටද එහිදී පියවර ගත්තේය.

විපක්ෂයේ දේශපාලන  පක්ෂ නායකයින් හෙට(27) වනදා යළිත් විපක්ෂ නායක කාර්යාලයේදී රැස්ව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටද එහිදී තීරණය කරනු ලැබීය.

ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්ඩුවේ වැඩපිළිවෙලට එරෙහිව විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ සමඟ කෙටිකාලීන සහ දිගුකාලීන වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට මෙම සාකච්ඡාව කැඳ වූ බවද විපක්ෂ නායකවරයා එහිදි  සඳහන්  කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම හුදෙකලා සිදුවීමක් නොව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය සඳහා ප්‍රබල අභියෝගයක් එල්ල කරන්නක් බවත් ප්‍රේමදාස මහතා එහිදි පැවසිය.

එම අභියෝගයට මුහුණ දීම සඳහා විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ එක්ව කටයුතු කිරීම වැදගත් බැවින් ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසිය.

විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ සමඟ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී අනීතික වැඩපිළිවෙලට එරෙහිව කෙටිකාලීන සහ දිගුකාලීන වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට කටයුතු කරන බවත් ඔහු පැවසිය.

මෙහිදි අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ  රනිල් වික්‍රමසිංහ මහතා නිදහස් කර ගැනීම සඳහා වූ වැඩපිළිවෙළට සියලු දෙනා එක්විය යුතු බවයි.

රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට එල්ල වී ඇති අභියෝගය ජයග්‍රහණය කිරීම විපක්ෂයේ දේශපාලන පක්ෂ එක්ව කටයුතු කළ යුතුව ඇතැයි ද පැවසීය.

එහිදී සියලු දේශපාලන පක්ෂ සිය දේශපාලන මත පසෙකලා මෙම ප්‍රධාන ගැටලුවලට පිළිතුරු සෙවිය යුතු බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා නිදහස් කර ගැනීම සහ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගැනිම වෙනුවෙන් විපක්ෂයේ සමස්ත දේශපාලන පක්ෂ එකමුතුව කටයුතු කිරීම වැදගත් බවත් එම අවස්ථාවේදි අදහස් දක්වමින් සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂවල නියෝජිතයෝ පැවසූහ.

විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයන් වන  ජී. එල්.පීරිස්,  මහින්ද අමරවීර, නිමල් සිරිපාද සිල්වා, රංජිත් මද්දූමබණ්ඩාර, ගයන්ත කරුණාතිලක, තිස්ස අත්තනායක,  නීතිඥ තලතා අතුකෝරල, රුවන් විජයවර්ධන, අකිල විරාජ් කාරියවසම්, සාගල රත්නායක, වජිර අබේවර්ධනඩීවී චානක, රවී කරුනානායක, ෆයිසර් මුස්තාපා, පී. දිගම්බරම්, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක, මුජුබර් රහුමාන්, හර්ෂණ රාජකරුණා, කාවින්ද ජයවර්ධන, ජේසි අලවතුවල ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.