
( කීර්ති ප්‍රනාන්දු )
දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේදී තුන් පිම්ම ඉසව්වෙන් රන් පදක්කමක් සහ තරග වාර්තාවක් තැබූ සසිඳු මල්ශාන් සහ එම තරගාවලියේදීම මීටර් 400 ×4 තරග ඉසව්වෙන් රන් පදක්කමක් හිමිකරගත් මනූජ ප්‍රභාෂ් යන ක්‍රීඩකයන් ඔවුන් මූලික අධ්‍යාපනය ලැබූ මිණුවන්ගොඩ යටියන රෝමානු කතෝලික විද්‍යාලයේදී මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය.
යටියන රෝමානු කතෝලික විද්‍යාලයේ ගුරු මණ්ඩලය සිසු සිසුවියන් ඔවුන්ගේ මව්පියන්, ප්‍රදේශවාසීන් එක්ව මෙම පිළිගැනීමේ උත්සවය මහත් හරසරින් යුතුව සංවිධානය කර තිබූ අතර ක්‍රීඩකයන් දෙදෙනා කටුනායක ගුවන්තොටුපලේ සිට පලමුවෙන්ම ඔවුන් මූලික අධ්‍යාපනය ලැබූ යටියන රෝමානු කතෝලික විද්‍යාලය වෙත පැමිනීම සුවිශේෂ සිදුවීමක් ද විය .
එහිදී පාසැල් තූර්ය වාදක කණ්ඩායම පෙරටු කරගත් පෙරහරකින් මෙම ක්‍රීඩකයන් දෙදෙනා පාසල වෙත කැඳවාගෙන පැමිණි අතර පසුව ඔවුන්ට විද්‍යාලයේදී පිළිගැනීමේ උත්සවයක් පැවැත්විය .
මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ උසස් අධ්‍යාපනය ලබමින් සිටින මෙම ක්‍රීඩකයන් දෙදෙනා යටියන රෝමානු කතෝලික විද්‍යාලයේ එකම පන්තියේ මූලික ඉගෙනුම ලැබූ සිසුන් දෙදෙනකු වීමද විශේෂත්වයක් ලෙස එහිදී දක්නට ලැබිණ .
මෙහිදී මිනුවන්ගොඩ යටියන විජය මංගල පිරිවෙනේ විහාරාධිකාරී හා පරිවේනාධිපති ,සමථ මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති ,ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේකම්, ශාස්ත්‍රවේදී දුටුවැව සද්ධානන්ද හිමියන් ක්‍රීඩකයන් දෙදෙනාට ආගමික වතාවත් සිදුකර ආශිර්වාද කර පිරිත් නූල් ගැට ගැසීමද සිදු කළහ .
පසුව පාසලේ ගුරු බවතුන් ,සිසුන් සහ ඔවුන්ගේ මාපියන් විසින් මල් කලඹක් සහ තිළිණ ප්‍රදානය කරමින් එම ක්‍රීඩකයන් දෙදෙනාව ඇගැයීමට ලක් කරනු ලැබීය .


																	
																	
																	
																	
																	
																	