රන් පවුමක් 255,000 ක් වෙයි


(යොහාන් භාසුර)

ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය බව හෙට්ටිවීදිය රත්තරන් ව්‍යාපාරිකයෝ පැවසූහ.

කැරට් 24 ක රත්තරන් පවුමක මිල රුපියල් 277,000 ක් දක්වා ද ඉහළ ගොස් තිබූ බව කී හෙට්ටිවීදිය රත්තරන් ව්‍යාපාරිකයෝ මෙම මිල ඉතිහාසයේ වාර්තා වූ ඉහළම රත්තරන් මිල බව ද සඳහන් කළහ.

ලෝක වෙළෙඳපොලේ රත්තරන් අවුන්සයක මිල ඊයේ පස්වරු වන විට ඩොලර් 3,500 ඉක්මවා ගොස් තිබූ බවත් ඉදිරි දිනවලදී රත්තරන් මිල තව දුරටත් ඉහළ යනු ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

ඇමෙරිකාව මෑතකදී හදුන්වා දුන් තීරු බදු හේතුවෙන් මෙසේ රත්තරන් මිල ඉහළ ගොස් ඇති බව ද විදෙස් මාධ්‍ය වැඩි දුරටත් පවසයි.

කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ ඊයේ (21) කැරට් 22 රත්තරන් පවුමක මිල රුපියල් 246,600 සහ කැරට් 24 ක රත්තරන් පවුමක මිල රුපියල් 268,000 ක පැවතුණි.