රත්නපුරයට හාල් - රතු සීනි හිඟයක්


(අජිත්ලාල් ශාන්තඋදය)

සංචරණ ඇඳිරිනීතිය මැද විවෘත කර ඇති රත්නපුර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රධාන නගර සහ උප නගරවල පිහිටි පෞද්ගලික සුපර් මාකට්, තොග වෙළඳසැල් සහ සිල්ලර වෙළඳසැල්වල හාල් සහ රතු සීනි හිඟයක් පවතින බව පාරිභෝගිකයෝ පවසති.

නාඩු සහ සම්බා සහල් ඇතැම් පුද්ගලික වෙළසැල් වල දින ගණනාවක් තිස්සේ නොමැති බව වෙළඳසැල් හිමියන් ද පවසයි.

රතු සීනි වල ද හිඟයක් පවතී. සුදු සහ රතු කැකුලු සහල්, වෙළඳසැල්වල ඇතත් ඒවා ද වරින් වර අවසන්වීම නිසා ව්‍යාපාරිකයන් මෙන් ම පාරිභෝගිකයන් ද දැඩි අසීරුතාවලට පත්ව සිටිති.

ඇතැම් වෙළඳල්වල කිලෝ පහ, කිලෝ දහය සහ කිලෝ විසිපහේ හාල් මලු වෙන ම අහුරා ඇතත් ඒවා අලෙවි නොකරති. මිලදී ගත් ආයතනවලට ආපසු යැවීම සඳහා යැයි පුවරු ප්‍රදර්ශනය කර ඇත.

ව්‍යාපාරිකයන්ගෙන් විමසූ විට ඔවුන් පැවසුවේ එම සහල් වැඩි මිලට තොග වශයෙන් ලබාගත් ඒවා නිසා ඒවා වර්තමානයේ ඇති පාලන මිලට අලෙවි කිරීමෙන් විශාල පාඩුවක් විඳිමට සිදුව ඇති නිසා මිලදී ගත් නියෝජිතයන්ට ආපසු ලබාදීමට එසේ රඳවා ඇති බවයි.

රතු සීනි හිඟ ඇයි ද යන්න විමසූ විට ව්‍යාපාරිකයන් පැවසුවේ කොළඹ තොග වෙළඳපොලේ වැඩිපුර ඇත්තේ සුදු සිනි බවයි.

මේ අතර සතොස වෙළඳසැල්වලින් එක් පාරිභෝගිකයෙකුට හාල් කිලෝ පහක් නිකුත් කළ සීමාව දැන් හාල් කිලෝ දහය දක්වා වැඩිකර තිබේ. සතොස වෙළඳසැල්වල නාඩු, සම්බා, සුදු සහ රතු කැකුලු සහල් සහ රතු සීනි තිබෙන බව ද පාරිභෝගිකයෝ පැවසූහ.