රත්නපුර නගරය වීඩියෝ කළ දෙදෙනා ගැන විමර්ශන


(අජිත්ලාල් ශාන්තඋදය)

රත්නපුර නගරය සහ රත්නපුර ප‍්‍රධාන බස් නැවතුම් පොළ වීඩියෝ ගත කරද්දී අත්අඩංගුවට පත් මුස්ලිම් ජාතිකයන් දෙදෙනා එසේ කිරිම සම්බන්ධයෙන් විශ්වාස කළ හැකි කරුණු ඉදිරිපත් නොකළ නිසා ඒ ගැන වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරන බව රත්නපුර පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ රක්වාන, උක්වත්ත ප‍්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකු සහ කෑගල්ල, හෙම්මාවතගම, වෙල්ගහදෙනිය ප‍්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙකි.

රත්නපුර නගරයේ සෙනග වැඩිපුර ගැවසෙන පොදු බස් නැවතුම්පොළ සහ නගරයේ වෙනත් ස්ථාන මොවුන් දෙදෙනා විසින් වීඩියෝ කරන බවට ලද තොරතුරක් අනුව ඔවුන් දෙදෙනා ඊයේ (9) අත්අඩංගුවට ගැණිනි.

සැකකරුවන්ගෙන් නගරය  වීඩියෝ කිරීම සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීමේ දී එසේ කිරීමට පිළිගත හැකි හේතු ඉදිරිපත් කිරීමට අසමත් වූ බවද පොලීසිය පවසයි. ඒ නිසා අත්අඩංගුවට පත් පුද්ගලයන් සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගැනීමට ඔවුන් පදිංචි ප‍්‍රදේශයේ පොලිස්ථාන හරහා සිදුකිරිමට පියවර ගත් බවද පොලීසිය සඳහන් කරයි.

රත්නපුර නගරයේ පොදු බස් නැවතුම් පොළ ලංගම හා පෞද්ගලික බස් රථ ඒකාබද්ධව නවත්වන ස්ථානයකි. දුරගමන් සේවා මෙන්ම කෙටිදුර ගමන් ද සමඟ සෑම වේලාවක දීම විශාල මගීන් පිරිසක් සහ ලංගම හා පෞද්ගලික බස් රථ ද විශාල සංඛ්‍යාවක් මගීන් ගොඩ කර ගැනීම සඳහා නවත්වන ස්ථානයකි.

ඊට අමතරව මෑතකදී සිට කොළඹ සහ වෙනත් ප‍්‍රදේශවල සිට බදුල්ල, අම්පාර, මොණරාගල, ඇඹිලිපිටිය, අක්කරපත්තු, කල්මුණේ, පොතුවිල්, ආදී ප‍්‍රදේශවලට ගමන් ගන්නා දුරගමන් බස් රථ ගමන් ගන්නේ ද රත්නපුර පොදු බස්නැවතුම් පොළ ඉදිරියේ වූ මාර්ගයෙනි.

සැකකරුවන්ගෙන් වැඩිදුර ප‍්‍රශ්න කිරීම්වලින් පසු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.