(අංජුල මහික වීරරත්න)
මැල්සිරිපුර රඹේ ගොවීන් 3000කට අධික පිරිසකට රජය ලබා දුන් සහනාධාර අහිමි කළ සංවර්ධන නිලධාරියාගේ වැඩ තහනම් කළ බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.
මැල්සිරිපුර රඹේ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සේවය කළ අදාල සංවර්ධන නිලධාරියාගේ වැඩ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් තහනම් කර තිබේ.
රජය මගින් ගොවි ජනතාවට නොමිලයේ ලබා දෙන සහනාධාර කිසිවක් ගොවීන් 3000කට අධික පිරිසකට ලබා දීම සඳහා අවශ්‍ය තොරතුරු ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට ලබා දී නැති බව ගොවි නියෝජිතයින් පිරිසක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට කළ පැමිණිල්ලකට අනුව මෙම නිලධාරියාගේ වැඩ තහනම් කර තිබේ.
මෙම පැමිණිලි පිළිබදව විමර්ශනය කර එකී සංවර්ධන නිලධාරියාට එරෙහිව විනය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා ගොවිජන කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කර තිබිණි.
මෙම සංවර්ධන නිලධාරියා විසින් සිදු කරන ලද අක්‍රමිකතාවයෙන් ගොවීන් 3000කට අධික පිරිසකට රජය විසින් ලබා දුන් රුපියල් 10,000 හා 20,000 දීමනාව අහිමි වී ඇතැයි ද දැනට නොමිලයේ නිකුත් කරන මඩ පොහොර හා චීන රජය විසින් ලබා දුන් ඉන්ධන සහනාධාරය ද ඇතුලු සහනාධාර රැසක් අහිමි කර තිබූ බවද අමාත්‍යාංශය පවසයි.

