රටට අවුරුද්දක් හුස්ම ගන්න ඉඩ දෙන්න


(සුජිත් හේවාජුලිගේ )

රට අරාජික නොකර   අවුරුද්දක් නිදහසේ හුස්ම ගන්න ඉඩදී  දේශපාලනය කරන්නැයි  සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කරන බව  සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

"ඔබේ අරගලය කරගන්න. නමුත්  දියුණුවේ  පාර  වැහුවොත්  රට අරාජික වීම වළක්වන්න  බැහැ" යැයිද  ඔහු සඳහන් කළේය

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ කොවිඩ් වසංගතයෙන් වසර තුනකට පසු පැමිණි  චීන සංචාරකයන් රැගත් පළමු  ශ්‍රී ලංකන් ගුවන් යානය පෙරේදා (1) රාත්‍රී  පිළිගනිමිනි.

චීන සංචාරකයෝ එකසිය විසි දෙනෙක් එම ගුවන් යානයෙන් මෙරටට පැමිණියහ.

හරින් ප්‍රනාන්දු මහතා මෙසේද සඳහන් කළේය.

චීන සංචාරකයන් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණීම විශාල ප්‍රගතියක්. චීන සංචාරකයන් ලක්ෂ පහක් ඉදිරි ඉදිරියේදී පැමිණියහොත් ඉන් ලැබෙන මුදල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දෙන මුදලට සමානයි.