රට බාර ගන්න නවීන දැනුමෙන් සන්නද්ධ වන්න


(අංජුල මහික වීරරත්න)

රටේ සිසු පරපුර 2048 වන විට රට බාර ගැනීමට හැකිවන පරිදි නවීන තාක්‍ෂණයේ සියලු අංශ පිළිබඳ දැනුමෙන් සන්නද්ධ විය යුතු බවත්, තාක්ෂණයේ නවතම දියුණුවත් සමග යාවත්කාලීන වෙමින් අනාගතය සඳහා සූදානම් විය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය සමඟ වසර හතරකින් ආර්ථිකය ස්ථාවර කිරීමෙන් පසුව පැරණි ක්‍රමවේදයම අනුගමනය කරනවාද නැතිනම් අලුත් ක්‍රමවේදයක් ඔස්සේ දියුණු වන ලෝකයත් සමඟ ඉදිරියට යනවාද යන්න අප තීරණය කළ යුතු බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ කොළඹ ආනන්ද විද්‍යාලයේ 135 වැනි වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට අද (29) එක් වෙමිනි. 2020-2021 වර්ෂවල දක්ෂතා දැක්වූ දරුවන් ඇගයීමට ලක් කිරීම මෙහිදී සිදු කෙරිණි.

විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිවරයා පළමුව විහාර මන්දිරය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වූ අතර විද්‍යාලයීය පෝතක බාලදක්ෂ ආචාර හා බාලදක්ෂයන්ගේ සම්මාන මුරයකින් ජනාධිපතිවරයා පිළිගනු ලැබීය.

විද්‍යාලයේ ස්ථාපිත කර ඇති රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්විය.