රජය කොරෝනා ව්‍යසනය ව්‍යාපාරයක් කරගෙන


(නිමල කොඩිතුවක්කු)

මහින්ද රාජපක්ෂ යුගය මෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ යුගය ද අසමත් බව අද වන විට ඔප්පු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා කොළඹ දී පැවසීය.

පෙර අවස්ථාවලදී රටේ ව්‍යසන ව්‍යාපාර කරගත් ආකාරයටම මෙම අවස්ථාවේදී කොරෝනා ව්‍යසනය ව්‍යාපාරයක් කරගෙන ඇතැයි ද රාමනායක මහතා සඳහන් කළේය.

කොළඹ මාර්ක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්යාලයේ අද(08) පැවති මාධමහතාට හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රන්ජන් රාමනායක මහතා මෙසේද කීවේය.

    "ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත් කරන්න 69 ලක්ෂයක් ජනතාව ඡන්දය ලබා දුන්නා. පෙර වැරදි නිසා අපි කිව්වා මේ පුද්ගලයා  ආවොත් රට ෆේල් කියලා. අපි කියපු කතා ජනතාව ප්‍රතික්ෂේප කළා. අපි බොරු කියන්නෙ කියලා හිතුවා.

ජනමතයට ගරු කරලා නව රජයට මේක කරන්න ඉඩ දීලා අපි නිහඩව බලා ගෙන හිටියා. නමුත් තවදුරටත් බලාගෙන ඉන්න බැහැ කියලා අපට දැන් තේරුම් යනවා.

මෙතෙක් කල් අපි තිත්ත ඇත්ත කතා කළා. ඉදිරියටත් එහෙමයි. රාජපක්ෂ ජුන්ටාව හොර කණ්ඩායමක් කියලා අපි මුල ඉදන්ම කිව්වා. මේ අය සුනාමි මුදල් ගසා කෑවා. යුද්ධය ව්‍යාපාරයක් කරගත්තා. අද කොරෝනා වසංගතයක් ව්‍යාපාරයක් කරගෙන තියෙනවා.

අපේ රට දූපතක්. අපේ රටට කොරෝනා වසංගතය එනවනම් එන්නේ පාලකයන්ගේ වරදින්. චීන කතට කොරෝනා වැළදුනහම ඇයව ඉඹලා රට සුරක්ෂිතයි කියලා සෞඛ්‍ය අමාත්‍යවරිය කිව්වා.

විදේශගත ශ්‍රමිකයෝ ලංකාවට එන්නේ නිරෝධායන ක්‍රියාවලියකට යටත් කරනවා. නමුත් පොම්පියෝ එද්දී චීන දූත පිරිස එද්දී මේ නිරෝධායනය තිබුණෙ නැහැ. ඒ අය උසස් රාජතාන්ත්‍රිකයන් කියලා සෞඛ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කළා. උසස් රාජතාන්ත්‍රිකයන්ට කොරෝනා  හැදෙන්නේ නැද්ද කියලා අපි අහනවා.

අපි දන්න විදියට චාල්ස්  කුමාරයාටත් හැදුනා. බ්‍රිතාන්‍ය අගමැතිටත් හැදුනා. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ටත් හැදුනා. නමුත් හයික්ලාස් චීන අයට කොරෝනා හැදෙන්නේ නැහැ.

මේ අාණ්ඩුව කොරෝනා වසන්ගතය විකුණන් කන්න හැදුවා. කොරෝනා අස්සේ මේ අය සියලු විදේශ ගිවිසුම් අත්සන් කරන්න සැලසුම් කළා. එක පැත්තකින් පොම්පියෝ  එනවා. අනිත් පැත්තෙන් චීනේ එනවා. තව පැත්තකින් ඉන්දියාව ආවා කියනවා.

රටට ව්‍යසනයක් වූ කොරෝනා වසන්ගතය මේ ආණ්ඩුව ව්‍යාපාරයක් බවට පත් කර ගත්තා. මේ ජාන ඉතිහාසයේ ඉදන් මේ අයට තියෙනවා.

මේ අය අර්බුදයක් ඇති කරලා බලයට ඇවිත් අර්බුදය වවාගෙන අර්බුදය දඩයම් කරගෙන අර්බුදය  විකුණගෙන අර්බුදයෙන් ම විනාශ වෙනවා.

තමන්ගේ ගජමිතුරන්ට වෛද්‍ය උපකරණ ගෙන්නන්න දීලා මේ අය වසංගතයක් විකුණන් කෑවා. රුපියල් ලක්ෂ 80ක් වටිනා පී. සී. ආර් යන්ත්‍රයක් ගේන්න අද කටයුතු කරන්නේ නැහැ. ඒ වෙනුවට ආණ්ඩුවේ ප්‍රධානීන් කෝටි ගණන් වල බෙන්ස් රථ වල යනවා.

මේ ආණ්ඩුවේ වැඩපිළිවෙළ ගැන අපි වෛරයෙන් කතා කරනවා නෙමෙයි. පාස්කු ප්‍රහාරය මේ අයට රජ මගුලක් වුණා. මේ අය පාස්කු ප්‍රහාරය විකුණං කෑවා වගේ තත්ත්වයකට අපි පත් වන්නේ නැහැ.

බද්දේගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ආනන්ද ලැනරෝල් මහතා.

කොරෝනා වසංගතය පිළිබඳ සෞඛ්‍ය අංශ, විපක්ෂය දිගින් දිගටම අනතුරු ඇඟවීම් කළා.  නමුත් රජය ඒ පිළිබඳ කිසිදු සැලකිල්ලක් දැක්වුවේ නැහැ. රජයේ අවධානය යොමු වුණේ මැතිවරණය ජයග්‍රහණය කරන්නත්  විසිවන සංශෝධනය මගින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි  කිරීම පිළිබඳවයි.  මේ නිසා අද මුළු රටම අනාරක්ෂිත තත්ත්වයට පත්වෙලා තියෙනවා.