(මනෝප්‍රිය ගුණසේකර)
වසර තුනක කාලයකදී විශූද්ධීකරණය කළ මුදලින් රුපියල් කෝටි 08 කට අධික මුදලක් යොදවා රත්මලාන හා දෙහිවල ප්‍රදේශ වලින් ඉඩම් ඇතුළු දේපල මිලදී ගත් බවට වු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතාට සහ නැන්දම්මාට එරෙහි නඩුව ජූලි 11 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු අදිත්‍ය පටබැඳිගේ මහතා අද (30) නියම කළේය.
2012 සහ 2015 අතර වසර 03ක කාලසීමාවක් තුළදී අදාළ දේපළ මිලදී ගත් බවට චෝදනා ලැබ සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට සහ මහින්ද රාජපක්ෂ මහතාගේ නැන්දම්මා වන ඩේසි ෆොරස්ට් මහත්මියට එරෙහිව නීතීපතිවරයා විසින් පවරා ඇති කැදවු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බලීමෙන් අනතුරුව විනිසුරුවරයා එලෙස නියම කළේය.
2012 සහ 2015 කාලසීමාව තුළ රුපියල් ලක්ෂ 800කට අධික වටිනාකමකින් යුත් රත්මලාන සිරිමල් උයන ප්‍රදේශයේ පර්චස් 34.5 ඉඩමක් සහ දෙහිවල ප්‍රදේශයේ ඉඩම් සහ දේපළ මිලදී ගත් ආකාරය හෙළි කිරීමට නොහැකි වීම හේතූවෙන් මුදල් විශූද්ධීකරණය කිරීමේ පනත යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා චෝදනා නඟා ඇත.
අදාළ දේපළ මිලදී ගැනීම සඳහා මුදල් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීමෙන් විත්තිකරුවන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීම පනත යටතේ වරදක් කර ඇති බවට නීතිපතිවරයා චෝදනා නඟා ඇත.
නඩුව කැඳවු අවස්ථාවේදී විත්තිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.
නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා කරුණු දක්වමින් ලේඛන හා සාක්ෂිකරුවන් පොලිසියට දුන් කටඋත්තර අඩංගු ලැයිස්තුවක් ඉදිරිපත් කරමින් සාධාරණ නඩු විභාගයකට මුහුණ දීම සඳහා අවශ්‍ය අදාළ ලේඛන හා කටඋත්තර සටහන් විත්ති පාර්ශවයට ලබාදෙන්නැයි ඉල්ලා සිටියේය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ උදාර කරුණාතිලක මහතා ලේඛණ කිහිපයක් අධිකරණයට ඉදිරිපත් කරමින් විත්ති පාර්ශවයට ලබාදිය හැකි වෙනත් ලේඛණ ඇත්නම් ඒවා දමට පියවර ගන්නා බවද දැනුම් දුන්නේය.
කරුණු සළකා බැලු විනිසුරුවරයා නඩුව ජුලි 11 වැනිදදා යළි කැදවීමට නියම කළේය.