යාපනයේ හිටපු පොලිස් ලොක්කෙකුට එරෙහි නඩු


(මනෝප‍්‍රිය ගුණසේකර)

 

යාපනයේ විද්‍යා සිසුවිය පැහැරගෙන ගොස් ලිංගික අතවර කර ඝාතනය කිරීමේ සිද්ධියේ ප‍්‍රධාන සැකකරුට පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා යෑමට ආධාර අනුබල දුන් බවට චෝදනා කරමින් යාපනය හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාට එරෙහිව නීතීපතිවරයා යාපනය මහාධිකරණය හමුවේ අද (24) නඩු පවරනු ලැබීය.

මහාලිංගම් ශෂිකුමාර් හෙවත් සුවිස් කුමාර් නමැති විද්‍යා ඝාතනයේ ප‍්‍රධාන විත්තිකරුට පොලිස් අත්අඩංගුවෙන් මිදී පළා යෑමට උදව් කළ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාට ආධාර අනුබල දුන් බවට චෝදනා කරමින් ශ්‍රී ගජන් නමැත්තකුට එරෙහිව ද මෙම නඩුවෙන්ම නීතීපතිවරයා විසින් වැඩිදුරටත් චෝදනා ගොනු කර ඇත.

නීතීපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතාගේ උපදෙස් මත විත්තිකරුවන්ට එරෙහිව මහාධිකරණය හමුවේ චෝදනා ගොනු කිරීමට පියවර ගත් බව ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

2015 මැයි මස 18 වැනිදා හෝ ඊට ආසන්න දිනයක රජයේ සේවකයකු වන යාපනය ප‍්‍රදේශය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස විත්තිකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පත් කර සිටියදී, 2015 මැයි 13 වැනිදා හෝ ඊට ආසන්න දිනයක යාපනය කයිට්ස් පුංකුඩිතිව් හිදී සිවලෝගනාදන් විද්‍යා නමැති තරුණිය පැහැර ගෙන ගොස් දුෂණය කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබු මහාලිංගම් ශෂිකුමාර් හෙවත් සුවිස් කුමාර් නමැත්තාට පොලිස් අත්අඩංගුවෙන් මිදී පළා යෑමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාටද ඒ සඳහා ඔහුට ආධාර අනුබල දුන් බවට ශ්‍රී ගජන් නමැත්තකුට එරෙහිව ද නීතීපතිවරයා විසින් චෝදනා ගොනු කර තිබේ..

විද්‍යා ඝාතන සිද්ධිය විශේෂ අධිකරණ කටයුත්තක් ලෙස සළකමින් එම සිද්ධියේ විත්තිකරුවන් 9 දෙනාට එරෙහිව යාපනය හිටපු මහාධිකරණ විනිසුරු ඉලන්චේලියන් මහතා (සභාපති), ත‍්‍රීකුණාමලය හිටපු මහාධිකරණ විනිසුරු අන්නලිංගම් පේ‍්‍රමශංකර් මහතා සහ වව්නියාව හිටපු මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂිමහෙන්ද්‍රන් මහතාගෙන් සමන්විත ත‍්‍රී පුද්ගල  මහාධිකරණ  විනිසුරු  මඩුල්ලක් හමුවේ පැවැත්වු දීර්ඝ නඩු  විභාගයකින් පසුව විත්තිකරුවන් අදාළ චෝදනාවන්ට වරදකරුවන් කරමින් ඔවුන්ට මේ වන විටත් දඬුවම් නියම කර ඇත.

ඒ සමයේදී මහත් ආන්දෝලනයට තුඩු දුන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් පවත්වන ලද විශේෂ විමර්ශනයකින් පසුව විත්තිකරුවන්ට එරෙහිව එලෙස නඩු පවරන ලදී.

යාපනය හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාට සහ ශ්‍රී ගජන් නමැත්තාට එරෙහිව පවරා ඇති මෙම නඩුවේ ඔවුන්ට එරෙහිව  තවත් නියෝජ්‍ය පොලිස්පතිවරයකු ඇතුළු  සාක්කිකරුවන් 26 දෙනෙකු සහ නඩු භාණ්ඩ 4ක් ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන බව නීතීපතිවරයා අධිකරණයට දැනුම් දී ඇත.