යාපනයේ ලක්ෂ 30 කොල්ලයට සෙබළු දෙකක් ඇතුළු හතරක් මාට්ටු


(ගයාන් සූරිය ආරච්චි)

ත්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් යාපනය ප්‍රදේශයේ රන්බඩු අලෙවිි සැලක හිමිකරු බියවද්දා රුපියල් ලක්ෂ 30 ක් බලෙන් ලබාගෙන පලා ගිය යුද හමුදා විශේෂ කාර්යාංශයේ සෙබළුන් දෙදෙනෙකු, රක්ෂණ සමාගමක දිස්ත්‍රික් කළමනාකරුවෙකු ඇතුළු සිව් දෙනකු ඊයේ( 18) අත්අඩංගුවට ගත් බව  යාපනය පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහයියාව, කටුගස්තොට, බද්දේගම සහ මැණික්හින්න ප්‍රදේශවල පදිංචි අවුරුදු 39 ත් 50 ත්  අතර වයස් වල පසු වන සැකකරුවන් සිව් දෙනෙකි.

සැකකරුවන්  සන්තකයේ තිබී රුපියල් ලක්ෂ විස්සකට ආසන්න මුදලක්ද පොලිසිය සොයාගෙන ඇත.

යාපනය කස්තුරියා  ප්‍රදේශයේ රන්බඩු අලෙවිි සැලකට ඉකුත් 16 දා පැමිණි සැකකරුවන් ඔවුන් ත්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරීන් බව පවසා වරෙන්තු කොළයක්ද ඉදිරිපත් කර එම වෙළෙඳසලේ එල්ටීටීඊ සංවිධානයෙන් බලෙන් ලබාගත්  රන් බඩු ඇති බව පවසා එම රන්බඩු අධිකරණයට ඉදිරිපත් කිරීමට කොළඹට රැගෙන යා යුතු බව කියමින්  වෙළඳ සල් හිමිකරු බිය වද්දා ඇති බව පොලිසිය පවසයි.