යාචක කතගෙන් පැහැරගත් දරුවා සොයා ගනී


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

යාචක කාන්තාවකගේ මාස එකහමාරක් වයසැති පිරිමි දරුවා පැහැර ගත් බව කියන කාන්තාව වනාතවිල්ලුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය සඳහන් කරයි. බිළිඳු දරුවා ද පොලිස් බාරයට ගෙන ඇත.

දරුවා පැහැර ගැනීමට ආධාර අනුබල දුන් බව ,කියන තීරෝද රථ රියදුරකු, බ්‍රෝකර් වරයකු ඇතුළු පිරිමි පුද්ගලයන් සිවුදෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකාරියගේ සැමියා විදේශගතව සිටින අතර ඇය දරු ප්‍රසූතියක් සඳහා කොළඹ ප්‍රදේශයේ ඥාති නිවසක රැඳී සිටියදී දරු ගැබට මාස හතක් තිබියදී දරුවා මිය යාමෙන් අනතුරුව කෙසේ හෝ දරුවකු සොයා නැවතත් ගමට යාමේ අධිෂ්ඨානයෙන් කල් ගෙවා ඇතැයි පොලිසිය කියයි.

දරුවකු මිලදී ගැනීම ලක්ෂ තුනක මුදලක් අත දරාගෙන දෙමටගොඩ ප්‍රදේශයේ දන්නා හඳුනන පුද්ගලයකුට දරුවකු සොයාදෙන ලෙස කාන්තාව විසින් පවසා තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය විය.

ඒ අනුව එම පුද්ගලයා මෙම කාන්තාව සමඟ දෙමටගොඩ බොරැල්ල බම්බලපිටිය ආදී ප්‍රදේශවල දරුවෙකු සොයා දින කීපයක් ඇවිදිමින් යමින් සිටියදී බම්බලපිටිය ප්‍රදේශයේ සපත්තු මසන පුද්ගලයකු ලබා දුන් තොරතුරක් අනුව යාචක කාන්තාව මුණගැසී ඇය අත දරා සිටි මාස එක හමාරක් වයසැති පිරිමි දරුවා මුදලට ඉල්ලා ඇතැයි පොලිසිය කියයි.

එයට කැමැත්ත පළ කළ යාචක කාන්තාවට ප්‍රධාන සැකකාර කාන්තාව විසින් රුපියල් ලක්ෂයක මුදලක් ලබාදී ඇති අතර බ්‍රොකර් වරයාට රුපියල් 50,000 කුත් තීරෝද රථ රියදුරුට රුපියල් විසිපන්දහසක් සහ අනෙක් පුද්ගලයන් දෙදෙනාට ද රුපියල් 25,000 බැගින් දී තිබූ බව පොලිසිය සිදු කළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

යාචක කාන්තාව සමඟ දෙමටගොඩ ප්‍රදේශයේ රෙදිපිළි අලෙවිසැල කට ගොස් තිබූ සැකකාරිය දරුවා වෙනුවෙන් රුපියල් එක්දාස් 1900ක් ඇඳුම් පැළඳුම් මිලදීගෙන ලබාදී තිබු බවද පොලිසිය කියයි.

දරුවා කාන්තාවට ලබා දීම වෙනුවෙන් යාචක කාන්තාව රුපියල් ලක්ෂයක මුදලක් ලබා ගත්තත් පසුව දරුවා ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති අතර කොම්පඤ්ඤ වීදිය රථ ගාල කදී දරුවා යාචක කාන්තාව අතින් උදුරාගෙන කුලී මෝටර් රථයක නැගී වනාතවිල්ලුවට රැගෙන ගොස් තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.