යල කන්නයේ වී මිලදී ගැනීම හෙට සිට අරඹයි


(නිමල කොඩිතුවක්කු)

යල කන්නය සඳහා වී මිල දී ගැනීමට රුපියල් මිලියන 500ක මුදල් ප්‍රතිපාදන ලැබුණු බැවින් වී මිල දී ගැනීමේ කටයුතු හෙට (15) සිට ආරම්භ කරන බව වී අලෙවි මණ්ඩලයේ සභාපති ආචාර්ය ජටාල් මාන්නප්පෙරුම මහතා පැවසීය.

ඒ අනුව නාඩු කිලෝග්‍රෑමයක් රුපියල් පනහකටත් සම්බා කිලෝ ග්‍රෑමයක් රුපියල් පනස්දෙකටත් කීරි සම්බා කිලෝ ග්‍රෑමයක් රුපියල් පනස්පහකටත් මිලදී ගැනීමට කටයුතු කරන බවද සභාපතිවරයා සඳහන් කළේය. මෙවර යල කන්නය සඳහා වී මෙට්‍රික් ටොන් පනස් දහසක් මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ච ඩලය කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.

වී මිලදී ගැනීම සඳහා මහා භාණ්ඩාගාරය භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 3000 ක මුදලක් ඉල්ලා ඇති බවත් හෙතෙම කියා සිටියේය.

ගොවීන්ට වී අලෙවි මණ්ඩලයේ ගබඩා වලට වී ගෙනැවිත් දීමෙන් එම මොහොතේදීම මුදල් ලබාගැනීමේ හැකියාව ඇති බවත් සභාපතිවරයා පැවසීය.

මෙයට අමතරව කුඹුරට ම ගොස් ගොවීන්ගෙන් වී මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය නිලධාරීන් යොදවා ඇති බවත් ඔහු සඳහන් කළේය.

මිලදී ගන්නා වී තොග අවශ්‍ය අවස්ථාවල දී වෙළඳ පොලට නිකුත් කිරීමට පියවර ගන්නා බවත් සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.