යතුරුපැදියෙන් මරුවා එයි


(ප්‍රියානි මංගලිකා )

සංගීත සංදර්ශනයක් නරඹා ආපසු එමින් සිටි එකම පවුලේ  සොයුරන් දෙදෙනෙකු ගමන් ගත් යතුරුපැදිය පාරෙන් ඉවතට පැන ගසක හැපීමෙන්  අද (13 ) සිදුවූ අනතුරින්  බාල සොහොයුරා (21) මරණයට පත්ව වැඩිමල් සොහොයුරා  (23) තුවාල ලබා නිකවැරටිය රෝහලට ඇතුළත් කර ඇති බව කොටවෙහෙර පොලීසිය පවසයි.

කොටවෙහෙර දිගන්නෑව ප්‍රදේශයේදී යතුරුපැදිය අනතුරට  ලක්ව තිබේ.

මීවැල්ලෑව පාලුඋස්වැව ප්‍රදේශයේ  පදිංචි  පී.කේ.නිමේස් සංසල ප්‍රනාන්දු  බාල සොහොයුරා  (21) මියගොස් ඇති අතර පී.කේ. ශාමික රවිශාන් ප්‍රනාන්දු (23) නම් වැඩිමල් සොහොයුරා තුවාල ලබා නිකවැරටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද පොලීසිය සඳහන් කරයි .

මියගිය තරුණයා ගේ සිරුර පිළිබඳව වූ හදිසි මරණ පරීක්ෂණය ,අධිකරණ නියෝග මත   නිකවැරටිය මූලික රෝහලේදී ,අද(13 )  ,නිකවැරටිය හදිසි මරණ පරීක්ෂක රංජිත් ධර්මසිරි මහතා ඉදිරියේ සිදු කිරීමට  නියමිතව තිබුණි.

කොටවෙහෙර පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරයි.