යතුරු පැදි - ලොරි අනතුරින් නාවික සෙබළකු මරුට


(කේ බුද්ධික කුමාරසිරි)

මීපේ - ඉංගිරිය මාර්ගයේ පිටුම්පේ පිංතාලිය අසලදී යතුරු පැදියක් සහ කුඩා ලොරි රථයක් ගැටීමෙන් යතුරු පැදියේ පසුපස ගමන් ගත් තරැණයකු මියගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි

පාදුක්ක පිටුම්පේ පිංතාලිය අසල මාර්ගය අයිනේ යතුරු පැදිය නවත්වාගෙන සිටියදී ඉංගිරිය දෙස සිට පැමිණි කුඩා ලොරි රථය යතුරු පැදියේ පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවද පොලිසිය පවසයි.

අනතුරට ලක් වූ යතුරු පැදියෙහි පැදිකරු තුවාල ලබා පාදුක්ක ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ පාදුක්ක පිටුම්පේ ප්‍රදේශයේ ම පදිංචිකරුවකු වන නාවික හමුදාවේ සේවයේ නියුත්ව සිටි 31 හැවිරිදි එක්දරු පියෙකි.

අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු පාදුක්ක පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති අතර සැකකරැ අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වේ.