(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් පුදුමාතලන් ප්‍රදේශයේදී මෝර වරල් කිලෝ 854ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.
නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පුදුමාතලන් ප්‍රදේශයේ කළ වැටලීමකදි මෙම මෝර වරල් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම මෝර වරල් තොගය අධිශීතකරණය කරන ලද ලොරියක් තුළ ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබියදී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයා මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකි.
අත්අංගුවට ගත් පුද්ගලයා, මෝර වරල් සහ ලොරිය නීතීමය කටයුතු සඳහා මුලතිව්, සහකාර ධීවර අධ්‍යක්‍ෂ වෙත භාරදීමට කටයුතු කර ඇත.
මෙම මෝර වරල් ලබා ගැනීමට විශාල ලෙස මෝරුන් ඇල්ලීම හේතුවෙන් මෝර විශේෂ වඳ වීයෑමේ තර්ජනයකට ලක් ව ඇත.
එමෙන්ම මෝර සුප් සඳහා මෝර වරල් හා සම්බන්ධව මාංශ පේශියේ කාටිලේජීය කොටස යොදා ගන්නා බැවින් අල්ලාගන්නා මෝරුන්ගේ ප්‍රධාන වරල් කපා සාගරයේදීම ඉවත් කරෙගැනීමට ධීවරයෝ කටයුතු කරති.වරල් ඉවත් කර ගත් පසු මෝරුන් නැවතත් මුහුදට මුදාහරින අවස්ථා ද ඇත.
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මඟින් වඳවී යන මෝර විශේෂයන් ලෙස සැලකෙන මිනිමුතු මෝරා, පොල්කොළ මෝරා සහ කස මෝරා යන මෝර විශේෂයන් ඇල්ලීම සම්පූර්ණයෙන් තහනම් කර ඇත.




