
( තිළිණි ද සිල්වා)
ශ්‍රී ලංකාව සමග ද්විපාර්ශවික සබදතා වර්ධනය කර ගැනීමේ අරමුණෙන් ශ්‍රී ලංකාවේ සිටින ඉරාන හා වියට්නාම තානාපතිවරුන් වෙන වෙනම විදේශ අමාත්‍ය මහාචාරය ජී.එල්.පීරිස් මහතා හමු වී ඇත.
මෙරට සිටින ඉරාන තානාපති හෂෙම් අෂාසාදේ සහ වියට්නාම තානාපති හෝ ති තන් ට්‍රක් මහත්ම මහත්මීන් විදේශ අමාත්‍යාංශයේ දී විදේශ අමාත්‍යවරයා හමුවී ඇත.
ඉරාන ඉස්ලාමීය ජනරජයේ තානාපතිවරයා හමුවූ අවස්ථාවේ දී අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා අදහස් දක්වමින් වැඩි දියුණු කළ ද්විපාර්ශ්වික වෙළෙඳාම, ආයෝජනය සහ සංචාරක කර්මාන්තය සහ බලශක්තිය වැනි නව අංශවල පුළුල් ආර්ථික සහයෝගීතාවයක් ලබා දෙන ලෙස ඉරානයෙන් ඉල්ලා සිටියේය.
ඒසේම එම සාකච්ඡාව ආරම්භයේ දී, පෞරාණික හා ශ්‍රේෂ්ඨ ශිෂ්ඨාචාර දෙකක අභිමානවත් උරුමයක් හිමි ශ්‍රී ලංකාව සහ ඉරානය අතර පවතින දිගු කාලීන මිත්‍ර සබඳතා පිළිබඳව විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා අවධාරණය කළේය.
ජිනීවා හි පැවති මානව හිමිකම් සැසිවාරයේ දී සහ අනෙකුත් බහුපාර්ශ්වික වේදිකාවල දී ඉරාන ඉස්ලාමීය ජනරජය විසින් ලබා දුන් නොසැලෙන සහයෝගය පිළිබඳව විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකා රජයේ ප්‍රසාදය පළ කළේය.
පීරිස් මැතිතුමා විදේශ අමාත්‍ය ලෙස පත්වීම පිළිබඳව සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමූ තානාපති අෂාසාදේ මැතිතුමා, ශ්‍රී ලංකා රජය සමඟ ද්විපාර්ශ්වික සහයෝගීතාව පුළුල් කිරීම සඳහා ඉරාන ඉස්ලාමීය ජනරජයේ රජයෙහි දැඩි කැපවීම සහ සහයෝගය සහතික කළේය.
මෙරට සිටින වියට්නාම තානාපති හෝ ති තාන් ට්‍රක් මහත්මිය හමුවූ විදේශ අමාත්‍යවරයා ජාත්‍යන්තර වේදිකාවල දී වියට්නාමය ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය පිළිබඳව සිය දැඩි කෘතඥතාව ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පවතින අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක හවුල්කාරිත්වය විදේශ අමාත්‍යවරයාගේ ඇගයීමට ලක් වූ අතර, දේශපාලන, ආර්ථික හා සංස්කෘතික ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා මෙරට උනන්දුවක් දක්වන බව අමාත්‍යවරයා යළි අවධාරණය කළේය.
2009 වසරේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වියට්නාමයේ නිරත වූ නිල සංචාරය ඇතුළුව, දෙරට අතර නිතිපතා සිදුවන ඉහළ මට්ටමේ අන්තර් ක්‍රියාකාරකම් පිළිබඳව ද විදේශ අමාත්‍යවරයා වියට්නාම තානාපතිනියට සිහිපත් කළේය.
සෑම තරාතිරමකම දේශපාලන සබඳතා කෙරෙහි අවධානය යොමු කරමින්, ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පවතින අඛණ්ඩ සහයෝගීතාව, වෙළඳාම සහ ආයෝජනය, කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, විද්‍යා හා තාක්‍ෂණය, අධ්‍යාපනය, සංස්කෘතිය සහ අනෙකුත් ක්ෂේත්‍රවල සහයෝගීතාවය ගැන අමාත්‍යවරයාව දැනුවත් කළාය.


