
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පුනර්ජනනීය බල ශක්තියෙන් මෙගා වොට් 1000ක් විදුලිබල පද්ධතියට මේ වසරේදී එකතු කිරීමට කටයුතු කරන බව විදුලිබල ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී අද (10) පැවසුවාය.
පුනර්ජනනීය බලශක්තිය විදුලිබල පද්ධතියට එකතු කිරීමට හැකි වන සේ විදුලිබල පනත සංශෝධනය කිරීමට කටයුතු කරන බවද ඇය කීවාය.
අමාත්‍යවරිය මෙසේ පැවසුවේ බලශක්ති අර්බුදය පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදයේදීය.
පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙසේද පැවසුවාය.
අපි පසුගිය රජයට බාර දුන්නේ ශක්තිමත් විදුලිබල අමාත්‍යාංශයක්. අඩු තරමින් මෙගා වොට් 300 ක් විදුලිබල පද්ධතියට අලුතින් එක් විය යුතුයි. ජලාශවල ජලය තියෙන්නේ අඩු මට්ටමක. මේ විදුලි හිඟය දී ගන්න විදියක් නැහැ. කාසල්රී මාවුස්සාකැලේ සමනල වැව උග්‍ර නියං තත්ත්වයක් තියෙනවා. මේ අර්බුදයට හේතුව පසුගිය රජයේ නොහැකියාව. ඒ අය ඒ අයගේ කාර්යය භාරය ඉටු කළේ නෑ. පුනර්ජනනීය බලශක්තිය ස්වයං පෝෂණය කිරීමට ජනාධිපතිවරයා ප්‍රතිපත්තිය ඉදිරිපත් කළා. ඒ සඳහා අපි හඹාගෙන යනවා.
අපි කටයුතු කරන්නේ ඉතාමත් වගකීමෙන්. අපි යුතුකම ඉටු කරන රජයක්. විදුලිබල පනත වෙනස් කරනවා. සූර්යතාපය සුළං යොදාගෙන විදුලිය නිපදවීමට කටයුතු කරනවා.

