මුළු අනුරාධපුරේටම හෙට වන විට විදුලිය දෙන්න පුළුවන්


 

(අංජුල මහික වීරරත්න)

හෙට දිනය වන විට අනුරාධපුර  දිස්ත්‍රික්කයේ විදුලි සැපයුම සම්පූර්ණයෙන්ම ලබාදෙන්නට හැකි බව විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ අද(7) පැවසීය.

 අනුරාධපුර දිස්ත්‍රික්කයේ විදුලි ට්‍රාන්ස්ෆෝමර් 580න් 473කට ආපදා තත්ත්වය හේතුවෙන් හානි සිදු වී තිබු අතර  ඒවා මේ වන විට යථා තත්ත්වයට පත් කරමින් තිබෙන විදුලි බල මණ්ඩල නිලධාරීහු ජනාධිපතිවරයාට කීහ.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී නිලධාරීහු මේ බව සඳහන් කළහ.

ආපදාවෙන් අනුරාධපුරයේ ජල සැපයුම් 49,000කට හානි සිදුවී තිබු අතර, එයින් 99%ක් පමණ මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බව නිලධාරීහු පෙන්වා දුන්හ

ඉතිරි ප්‍රමාණය සඳහා  බවුසර් මගින් ජල සැපයීම සිදු කරන අතර ඉදිරි දින දෙකේදී සම්පූර්ණයෙන් ජල සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇති බව නිලධාරීහු කීහ.‍ෙහානි වූ ප්‍රජා ජල ව්‍යාපෘති ද යථා තත්ත්වයට පත් කරමින් තිබෙන බව සඳහන් කෙරිණි.

ගංවතුරින්  අනුරාධපුර දිස්ත්‍රික්කයේ නිවාස 228කට පුර්ණ හානි සිදුව තිබෙන අතර, එම නිවාස තිබු ස්ථාවලම ජනතාව නැවත පදිංචි කරනවාද, එසේ නොමැතිනම් වෙනත් සථානයක පදිංචි කරනවාද යන්න පිළිබඳ නිවැරදි දත්ත ලබා ගනිමින් අදාළ ඉඩම් හදුනා ගැනීමේ කටයුතු ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී  උපදෙස් දුන්නේය.